Thursday, December 27, 2012

ජයශ්‍රී මහාබෝධිය වැඩමෙව් උඳුවප් පුර පසළොස්වක


මහබෝ වැඩමවීම - සෝලියස් මෙන්දිස්, කැළණි විහාරය
ඉංගිරිසි වර්ෂ ක්‍රමයට අනුව වසරේ අවසන් පුන් පෝදිනය උඳුවප් පුර පසළොස්වක පෝයයි. වස් සමයේ නිමාව සිදු වී උදෑසන සිසිල දනවන හා දහවල සෞම්‍ය කාලගුණයක් මේ කාලයේ පවතී. එසේ වුවත් රජ රට හා දිවයිනේ උතුරුදිගට, පෙරදිග හා ගිනිකොණදිග පෙදෙස් වලට තවදුරටත් වැසි වැටේ. මේ කාලයේ ගොවීහු හේන් ආදී ගොඩ ගොවිතැන් ද අරඹති. මේ මාසයට උඳුවප් යන නම ලැබුනේ මේ කාලය උඳු වැපිරීමට සුදුසු කාලය නිසා බව කියැවේ.

උඳුවප් මාසය බොහෝ ස්වභාවික ව්‍යසන සිදු වන කාලයකි. වප්-ඉල් මාස වලදී වැපිරූ ගොයම ගංවතුර වැනි ව්‍යසනයකින් හානි වී ගියහොත් ඒවා නැවත වගා කිරීමද මේ කාලයේදී කර ගැනීමට ගොවීහු යුහුසුළු වෙති. බාල වී (අඩු මාසෙන් පැසෙන වී වර්ග) සිටවන අද කාලයේ බොහෝ පෙදෙස් වල කුඹුරු වැඩ ඇරඹෙන්නේ උඳුවප් මාසයේය.

උඳුවප් මසින් පසුව එන දුරුතු මාසයේද දෙය්යන්නේ ලෙඩ ලෙස හැඳින්වන වසංගත පැතිරීමද වැඩිය. වෛරස් නම් ක්‍ෂුද්‍රජීවී විශේෂ වලින් සෑදෙන බව මේ වන විට නූතන වෛද්‍ය විද්‍යාවෙන් තහවුරු කර ඇති මෙකී රෝග උඳුවප්-දුරුතු මාස වල වැඩි වීමට හේතුව ඉන්දියාව පිස හමා එන ඊසානදිග මෝසම ලෙස හැඳින්වෙන සුළං ප්‍රවාහ විය යුතුයි.

උඳුවප් පෝ දිනයේ සිදු වූ ශාසනික කටයුතු ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

මිහිඳු මාහිමියන්ගෙන් දහම් අසා සෝවාන් වූ අනුලා බිසව ඇතුළු ස්ත්‍රී පිරිස තමන් ද පැවිදි වීමට කැමති බව දේවානම්පිය තිස්ස රජුට දැන්වූහ. රජ්ජුරුවෝ ඒ බව මිහිඳු හිමියන්ට සැල කළහ. තමන්ට ස්ත්‍රීන් පැවිදි කිරීමට බුදු රජුන් විසින් අනුදැන වදාරා නොමැති බව උන් වහන්සේගේ පිළිතුර විය. ඒ හේතුවෙන් ලක්දිව භික්ෂුණි සාසනය පිහිටුවීම පිණිස මිහිඳු මාහිමියන්ගේ නැගණිය, සුමන සාමණේරයන්ගේ මව් තුමිය, වන සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ලක්දිවට වැඩම කරවන ලෙස ඉල්ලා දඹදිවට හසුන් පත් යැවිණි.

මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි බුද්ධගයාවේ අපරාජිත භූමියේ වැඩ වසන ශ්‍රී මහා බෝධි රාජයාගේ දක්ෂිණ ශාඛාවද ඒ සමගම සිරිලක වැඩමෙවිණි. දේවානම්පියතිස්ස රජු විසින් කරවටක් දියට බැස මහත් ගෞරවයෙන් පිළිගත් එම දක්ෂිණ ශාඛාව මහ පෙරහරින් අනුරාධපුර වැඩමවා මහමෙවුනා උයනේ රෝපිතව අද දක්වාත් දෙව් මිනිස් බුහුමන් ලබමින් වැඩ වෙසෙයි.

සිංහලයෝ රාජ්‍යයට අහිමිව වනගතව සිටි වකවානු වල පවා, මහත් දුර්භික්ෂ පැවති වකවානු වල පවා, ස්වකිය ජිවිත පරිත්‍යාගයෙන් මහබෝධීන් වහන්සේ රැක ගත්හ. වාර්ෂිකව දරමිටි පෝය පැවැත්වෙන්නේ මේ දුෂ්කර ක්‍රියාව සිහි කරමිණි.

සමන්ත කූඨය, ගඟුලතැන්න ප්‍රදේශයට පෙනෙන ආකාරය

මහා කාරුණික සම්මා සම්බුදු රජාණන් වහන්සේ සුමන සමන් දෙවි රජුගේ ආරාධනයෙන් තෙවන වර ලක්දිව වැඩම කර පන්දහසක් කල් බුදු සසුන පවත්නා ලංකාද්වීපයේ වාසය කරන පින්වත් දෙව්මිනිසුන්ගේ පුද පූජා ලැබීම පිණිස සවකිය වාම ශ්‍රී පාද ලාංඡනය සමන්ත කූඨය මත තබා වදාළහ. වසරේ සය මසක් වනයෙන් වැසී පවත්නා සමන්ත කූඨය වෙත යන දුෂ්කර මාර්ගය එළිපෙහෙළි කර සැදැහැවත් කුල පුත්‍රයන්ගේ වන්දනාව පිණිස සකස් කෙරෙන්නේ ද උඳුවප් මාසය තුලදීය. උඳුවප් පුර පසළොස්වක පෝ දිනෙන් ශ්‍රී පාද වන්දනා සමය ඇරඹේ.

මේ වන්දනා සමයේ සිරිපා කරුණා කරන මනුෂ්‍යයෝ තෙරුවණ කෙරෙහි ශ්‍රද්ධාවෙන් හා සුමන සමන් දේව රාජයා කෙරෙහි ගෞරවයෙන් යුක්තව, මහත් කුසලයක් කර ගන්නා සිතුවිලි ඇතිව, සියළු සතුන් කෙරෙහි මෛත්‍රියෙන් යුක්තව, නොඉඳුල් වනඅරණක් වන සමනල අඩවිය නොයෙක් ආකාරයේ 'නූතන' කුණු කන්දල් වලින් අපවිත්‍ර නොකර, සන්සුන්ව සංවරව වන්දනා කරගෙන සුරක්ෂිතව තම ගම් රටවල් කරා පෙරළා ඒමට සිතට ගත යුතු.

11 comments:

  1. සිතුවිළිJanuary 1, 2013 at 8:11 PM

    කේ ඔබගේ ලිපිය කිහිප විටක් කියවීමි, කොමෙන්ටුවක් දැමීමට යමක් සිතාගත නොහැකි විය,
    සිත් එකඟ නොවීද අන් යම් කරුනක්දැයි පැහැදිලි නැත.
    ලිවීමට තැත් දරන්නම්.

    ReplyDelete
  2. විචිකිච්චාව යනු සැකයද? මේ සිතුවිළිට ඇති වූ ප්‍රශ්නයක්.
    මා තේරුම් ගත් පරිදි එය අස්ථිර සැළෙන අදහස් ඇති බවයි. මෙය පැහැදිළි කළ හැකිද?

    ReplyDelete
  3. සිතුවිළිJanuary 3, 2013 at 4:25 PM

    ජෝසප්,
    ඔබට බොහෝම පින් මෙ ගැටළුව වඩා සර්ථකව සාකච්චා කල හැකි මණ්ඩපයට ගෙන ඒම පිළිබඳ.
    මාගේ පැනය වූයේ
    විචිකිච්චාව යනු සැකයද?
    නැතහොත් අනවබෝධයද? යන්නයි.
    මා එසේ ඇසුවේ හේතුවක් ඇතිවයි. එනම් කෙනෙකු බුදුන් සරණ යන්නේ බුදුන් ගැන වූ පැහැදීමකිනි. එවිට බුදුන් දෙසනා/දෙසූ දෙය කෙරෙහි ඔහු තුල විශ්වාසයක් ගොඩ නැගෙයි. ධර්මය බුදුන් කී නිසා පිළිගනියි, එනම් ඔහු බුදුන් සැක නොකරයි. සර්වඥතාවය, රහත් බව ආදී කරුනු.

    එහෙත් එසේ බුදුන් සැක නොකළ පමණින් යමෙකු විචිකිච්චාව නම් වූ නීවරන ධර්මය ජය ගත්තායැයි කිව හැකිද?
    මාගේ මතයනම් නැත යන්නයි.
    අදාල පුදගලයා කර ඇත්තේ ශ්‍රද්ධාව පිහිටුවා ගැනීමක් පමණි.
    එසේනම් විචිකිච්චාව යනු සැකය යනුවෙන් කරනා හැඳින්වීම නිවැරදිද?
    මාගේ දැන උගත් බුද්ධිමත් මිතුරන්ගේ අදහස් දැනගැන්මට කැමැත්තෙමි.

    ජෝසප් ගේ පිළිතුරද යම් පමනකට පිළිගත හැක්කකි, එහෙත් එයින්ද සැබෑ අරුත මතු නොවේයැයි මට සිතේ.

    ReplyDelete
    Replies
    1. ...දෙදෙනාටම...

      ඉතා ලිහිල් අරුතින් නම් විචිකිච්චා යනු සැකය තමයි. ඕනෑම තැනක උගන්වන්නේ එසේයි.

      පංච නීවරණ (කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච – කුක්කුච්ච, විචිකිච්ඡා) හා දස සංයෝජනයන් ( සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස, කාම රාග, පටිඝ, රූප රාග, අරූප රාග, මානය, උද්ධච්ච, අවිජ්ජා) ගැන ඉගෙන ගැනීමේදී විචිකිච්චාව අපට හමු වේ. අනවබෝධය යන තේරුම ඊට දීම සුදුසු නැත. අවබෝධය යනු චතුරාර්‍යසත්‍යාවබෝධය වන නිසා අනවබෝධය යනු අවිද්‍යාව ලෙස ගත හැකියි. අවිජ්ජා හෙවත් අවිද්‍යාව ප්‍රහීන වන්නේ රහත් ඵලයෙනි, විචිකිච්චාව පහවන්නේ සෝවාන් ඵලයෙනි.

      එසේ කීවත් "සැකය" යන්න, පොලිසිය සැකකරුවන් කෙරෙහිත් ඇති කර ගනී... ස්වාමීහු භාර්යාවන් කෙරෙහිත් ඇති කර ගනී... දෙමාපියන් දරුවන් කෙරෙහිත් ඇති කර ගනී... සේව්‍යයා සේවකයන් කෙරෙහිත් ඇති කර ගනී... ඒ නම් දහමේ ඉගැන්වෙන විචිකිච්චාව නොවේ. ඒ නිසා ජෝසෙෆ් විසින් යෝජනා කෙරුණු 'අස්ථිර සැළෙන අදහස් ඇති බව' යන්න බුදු දහමේ එන විචිකිච්චාව පැහැදිළි කිරීමට වඩා සුදුසු බව කිව හැකියි. එහෙත් එය තනි වචනයක් නොවේ; වාක්‍යයකි.

      විචිකිච්චාව උගන්වන විට 'බුද්ධාදී අට තැන්හි සැකය' යැයි සාමාන්‍යයෙන් දේශකයන් වහන්සේලා විසින් විස්තර කෙරේ. ඒ නිසා අප සැමටට 'විචිකිච්චා' යන පාලි වචනයට 'විචිකිච්චාව' හැර වෙන සුදුසු සිංහල වචනයක් නැති බව ගැන පමණක් එකඟ විය හැක.

      වෙනත් අයුරකින් විස්තර කළොත්...

      1. විචිකිච්චා යනු කිසියම් පුද්ගලයෙක්, දෙයක් ගැන සිතේ දෘඪ ස්ථිර විශ්වාසයක් නොමැති වීමයි; තරමක විශ්වාසයක් තිබීමයි.
      2. දස සංයෝජන හා පංච නීවරණ වලට අයත් විචිකිච්චාව යනු බුද්ධාදී අට තැන්හි දෘඪ හා ස්ථිර නොබිඳෙන සුළු විශ්වාසයක් නොමැති වීමයි; තරමක විශ්වාසයක් තිබීමයි.

      උදාහරණයක් දෙමි.

      (අ) සර්කස් වල දී ලණු වල එල්ලී පිනුම් ගසන යුවලක කාන්තාව එක ලණුවකින් නික්මී ගුවනේදීම පිනුම් ගසා පුරුෂයාගේ දෑතේ එල්ලෙනු ඔබ රූපවාහිනියෙන් හෝ දැක ඇතැයි සිතමි. ඇයට පිරිමියා ගැනත්, ඔහුගේ හැකියාව ගැනත්, ඔහු එල්ලී සිටින ලණුවේ ශක්තිය ගැනත් විචිකිච්චාවක් නැත. විචිකිච්චාවක් තිබිණිනම් ඈ ජීවිතය පරදුවට තබා අර ලණුව අත හරින්නේ නැත.

      (ආ) බුද්ධාදී අට තැන්හි විචිකිච්චාව ප්‍රහීන කළ පුද්ගලයාද මේ ධර්ම ප්‍රතිපදාව වෙනුවෙන් අනෙක් සියළු දේ පරදුවට තබා කටයුතු කරයි. විචිකිච්චාව තිබේනම් එසේ කරන්නේ නැත. බිම්බිසාර රජුට මල් සැපයූ සුමන මල් කරුවාගේ කතාව, සාමාවතියට මෙහෙ කළ ඛුජ්ජුත්තරා දාසියගේ කතාව හා සාමාවතියගේම කතාවත්, විඩූඩභ කුමරු විසින් කළ ශාක්‍ය සංහාරය ගැන කතාවත් ඔබට මේ සම්බන්ධ උදාහරණ ලෙස දිය හැක.
      ------
      මේ ප්‍රශ්නය ඇසීම ගැන තුති පුදමි. මීට පිළිතුරු ලිවිම හේතුවෙන් මගේද දැනුම වඩා තියුණු විය.

      Delete
    2. සිතුවිළිJanuary 4, 2013 at 9:28 AM

      මිතුර "K"

      ඔබට බොහෝ පින් මේ විග්‍රහය ගැන, මීට යමක් තවත් ලිවීමට මා බොහෝ සිතිය යුතුයි, හැකි ඉක්මනින් මා මේ ගැන තවත් ලියන්නම්. මා පැනය නැගූ අයුරුත් ඔබගේ පිළිතුරත් වෙනම ගෙන සිතිය යුතුව ඇත.

      Delete
    3. ඔබ මගේ අදහස ස්ථිර කර ඇතැයි සිතේ. මා දුන් තේරුම තනි වචනයක් නොවන බවනම් සත්‍යයකි, එහෙත් එය වාක්‍යයක්ද නොවේ. මට සිතෙන අයුරින් සහ ඔබද කියා ඇති අයුරින් 'විචිකිච්චා' යන්නට තනි සිංහල වචනයක් නැත.

      ඔබ කියන බුද්ධාදී අට තන්හි සැකය යනු පහත දේ බව සිතමි. මෙය =/? ගෙන් උපුටා ගතිමි. ඒවා ගැනත් ඔබේ අදහස දක්වන්න.

      1. අප සම්බුදු රජුන් සර්වඥ ද නැතිද කියා හිතීම
      2. සතර මග පල, නිවන ඇතිද නැතිද කියා හිතීම
      3. අෂ්ඨ ශීල, අධි චිත්ත, අධි ප්‍රඥඥා යන ශික්ෂාවන් ගැන සැක පහල කිරීම
      4. අෂ්ඨ ආර්ය සඝ රුවන සැක කිරීම
      5. අප වැනි සත්වයන්ගේ අතීතය ගැන සැක කිරීම
      6. අප වැනි සත්වයන්ගේ අනාගතය ගැන සැක කිරීම
      7. අප වැන්නවුන්ගේ අතීත අනාගත යන දෙකම සැක කිරීම
      8. පටිච්ච සමුප්පාද දර්මය ගැන සැක කිරීම

      Delete
    4. සිතුවිළිJanuary 4, 2013 at 10:47 PM

      මිතුරනි,
      විචිකිච්චාව උගන්වන්නේ සැකය ලෙස තමයි, මා අභියෝගයට ලක් කරන්නේ එයයි.
      සිංහල භාශාවේ සැකය යන වචනය දෙන අරුත මුළුමනින්ම විචිකිච්චාවට වඩා වෙනත් අරුතක් බව මගේ වැටහීමයි.
      ඒ අනුව බලන කල ජෝසප්ගේ යෝජනාව යම් දුරකට සාධාරන යැයි මා නැවත කියමි.
      ඊට අමතරව විචිකිච්චා යන පාලි වදනෙහි සිංහල අරුත විචිකිච්චාව යන "කේ" ගේ අදහස හා හොඳින්ම එකඟ වෙමි.


      බුද්ධාදී අටතැන් ගැන "K" පවසන කරුන මාද පැහැදිලිවම කරුනු වශයෙන් දැන නොසිටියෙමි. එහෙත් එය බුද්ධත්වය, සර්වඥතා ඥානය ආදී කරුනු බව දැන සිටියෙමි. එම කරුනු 8 ඉදිරිපත් කිරීමේ ගෞරවය අප මිතුරු =/? වෙතයි.

      අවබෝධය ගැන ඔබ කියන්න හාද මාගේ එකඟ නොවීමක් ඇත, එනම් චතුරාර්‍ය සත්ත්‍යය අවබෝධය ධර්මාවබෝධය මිස අවබෝදය නොවේ.
      අවබෝධය යනු පොදු අරුතකි, අපට ඕනෑම නිවැරදි අදහසක් බුද්ධියෙන් දැක අවබෝධ කල හැකිය. චතුරාර්‍යසත්ත්‍යයට අමතරව එය බුද්ධත්වය යනු කුමක්ද ආදී වශයෙන් විය නොහැකිද?
      සක්කාය දිට්ඨිය පහ කර ගැන්ම උදෙසා මම යනු කුමක්දැයි විග්‍රහ කිරීමෙන් ඔබ ලබන්නේ අවබෝධයක් නොවෙයිද?

      ඒ කෙසේ වෙතත් අනවබෝධය යනු අවිද්‍යාව ලෙස ඔබ දැක්වීම අදහසක් වශයෙන් මා පිළිගනිමි.

      ඔබ මෙහිදී දී ඇති උදාහරන දෙක නම් නොගැලපෙන බවක් මා දකිමි,
      පලමු උදාහරනය
      මෙහිදී කාන්තාව තුල ඇත්තේ විචිකිච්චාවෙන් තොර වීම තරම් ගැඹුරු අවබෝධයක් නම් විය නොහැකිය. ඇය තුල ඇත්තේ පෙර වතාවේ එය නොවැරදුනු නිසා ඒ පිළිබඳව වූ විශ්වාසයක් පමණි. එය හරියට අප රථයක් පදවන විට තිරිංග යොදනවා වැනි දෙයකි. අප රථය වේගයෙන් පදවන්නේ හදිසියකදී එහි තිරිංග ඇති බව කෙරෙහි විශ්වාසයෙනි, එම විශ්වාසයේ පදනම කුමක්ද, කලින් වතාවේ තිරිංග ක්‍රියාත්මක වූ නිසා ඒ පිලිබඳ විශ්වාසයයි. එය ප්‍රත්‍යක්ශ අවබෝධයක් නොවෙයි නේද? එසේනම් සර්කස් කරනා කාන්තාව තුල ඇත්තේද ප්‍රත්‍යක්ශයෙන් ලද අවබෝධයක් නොවෙයි නේද?
      ඇය තුල ඇත්තේ අත්දැකීමෙන් ලද විශ්වාසයකි. යම් ලෙසකින් මේ වතාවේ ලනුව මීයෙකු විසින් කපා තිබිය හැකියි යන සම්භාවිතාවය නොතකා හැරිය නොහැකියි නේද? විචිකිච්චාවෙන් මිදුනෙකුට එවන් සම්භාවිතාවයක්වත් තිබිය හැකිද?

      දෙවැනි උදාහරනය:
      යමෙකු බුදුන් සරණ යන්නේත් නත්ථිමේ සරණං අඤ්ඤං, බුද්ධෝ, ධම්මෝ, සංඝෝ මේ සරණං වරං ලෙස අන් සියල්ල හැරදා තෙරුවන් සරණ යන්නේ විචිකිච්චාව දුරු වූ නිසා නොවෙයි. ඒ සරළ මූලික පැහැදීමක් ලද නිසා හා එය ඉක්මවා ගිය ස්‍රද්ධාවක් පිහිටුවා ගත් නිසා යැයි මා සිතමි. පැහැදීම, මූලික ශ්‍රද්ධාව හා විචිකිච්චාවෙන් මිදීම යනු අවබෝධයේ නොයෙකුත් අවස්ථා ලෙස ගතහොත් වැරදිද?

      මා දකින හැටියට, විචිකිච්චාවෙන් මිදීම යනු බුද්ධත්වය ආදී වූ කරුනු අවබෝධයෙන් දැකීම නොවේද. එවිට තමා තුලින් මතුවූ අවබෝධය නිසා බුද්ධාදී කරුනු පිලිබඳ ඇතිවන පැහැදීම අචල වේ. වෙනත් තර්ක මත, නින්දා අපහාස වදන් මත එය නොවෙනස් වේ. එවැනි ස්ථාවර තත්වයකට පත් වීම විචිකිච්චාවෙන් මිදීම ලෙස මා දකිමි.
      එය බොහෝ කොට අවබෝධයම පදනම් කර පවතින්නකැයි මා දකිමි.

      මා පටලවාගෙන ඇතිදැයි තවදුරටත් දන්නා අයගේ සාකච්චාවට මෙය බඳුන් කිරීමෙන් වටහා ගැනීමට උත්සහ දරමි.

      දහමට ප්‍රිය, ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ඔබ මාගේ මේ ප්‍රශ්න නැගීම කෙරෙහි උරණ නොවනා බවට මා තුල අදහසක් ඇත. ඒ පෙර අත්දැකීම් එලෙස බැවිනි. මෙවර මීයෙකු කපා ඇතිදැයි නොදන්නා නමුදු එසේ වී නැතිව ඇතැයි විශ්වාසය තබමි.

      Delete
    5. ජොසෙෆ්,

      බුද්ධාදී අට තැන මට මතක තිබුනේ නෑ. ඔබ කියූ නිසා ඒ ගැන වැඩිදුර සොයා බැලීමේදී බුද්ධ, ධම්ම, සංඝ, පෙර ජාති, මතු ජාති, පෙර-මතු දෙජාති හා ශික්ෂා යන සත හමු විය. සතක් (7) යනු අටක් (8) නොවේ. තවද සොයා බැලීමේදී පහත කරුණු අට හමු විය.

      1. බුදුරජාණන් වහන්සේ කෙරෙහි (උන් වහන්සේගේ දශබලධාරී බව, නව අරහාදී බුදු ගුණ ඇති බව, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදිය ගැන)
      2. ධර්මය කෙරෙහි (ධර්මයේ ගුණ, මාර්ග-ඵල, නිවන ගැන)
      3. සංඝරත්නය කෙරෙහි (සුපටිපන්නෝ ආදී ගුණ ගැන)
      4. ශික්‍ෂා පද කෙරෙහි (ශිල-සමාධි-ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂා ගැන)
      5. පෙර සසර
      6. මතු සසර
      7. පෙරමතු සසර ඉපදීම් පිළිබඳ
      8. පටිච්චසමුප්පාදය පිළිබඳ සැක කිරීම

      මේ අට උපුටා ගත්තේ හෑගොඩ විපස්සි හිමියන් විසින් දිවයින පුවත් පතට සැපයූ ලිපියකිනි. ඔබ දෙදෙනාගේම ප්‍රයෝජනය තකා එහි බැඳිය ඉදිරිපත් කරමි.
      http://www.divaina.com/2011/01/13/samadi.html

      Delete
    6. සිතුවිළි,

      ඔබේ පහත ඡේදය සාකඡ්චාවට බඳුන් කිරීමට මම කැමතියි.

      "විචිකිච්චාව උගන්වන්නේ සැකය ලෙස තමයි, මා අභියෝගයට ලක් කරන්නේ එයයි.
      සිංහල භාශාවේ සැකය යන වචනය දෙන අරුත මුළුමනින්ම විචිකිච්චාවට වඩා වෙනත් අරුතක් බව මගේ වැටහීමයි."

      ජොසෙෆ් හා මමත් කියන්නේ යම් තාක් දුරකට එයම තමයි. ඒ නිසයි අප දෙදෙනාම කෙලින්ම සැකය යයි නොකියා වෙනත් වචන යෝජනා කර ඇත්තේ. එහෙත්, මමනම් 'සැකය' යන වචනය අභියෝගයට ලක් නොකරමි. ජොසෙෆ් කුමක් කරයිදැයි නොදනිමි.

      විචිකිච්චා යනු පාලියෙන් 'සැකය' බවත්, බුදුරජාණන් වහන්සේ පංච නිවරණ හා දශ සංයෝජන විස්තර කිරීමේදී වඩා පුළුල් අර්ථයක් තිබූ එම වචනයේ අර්ථය පටු කොට (සීමා කර = එනම් බුද්ධාදී අට තැන් සම්බන්ධයෙන් පමණක්) යොදා ගත් බවත් මගේ විශ්වාසයයි. ඔවැනි වචන ඕනා තරම් උදාහරණ ලෙස දිය හැක. 'බ්‍රාහ්මණ' සහ 'ආර්යය' යන වචන වලට උන් වහන්සේ වෙනස් තේරුම් දුන් සේක. 'සදිසා නමස්කාරය' සම්පුර්ණයෙන් යටිකුරු කරවූහ.

      කොටින්ම 'රහත්', 'ශ්‍රමණ', 'බුද්ධ', 'සර්වඥ' වැනි බොහෝ වචන උන් වහන්සේ විසින් භාවිතයට ගැනීමෙන් ඒ වන විට ඒවා භාවිතා කරමින් සිටි අන්‍යතිර්තකයන් අනාථ භාවයට පත් වූ බුද්ධ චරිතය විමසීමෙන් පෙනේ.

      බුදු දහමේ ඇති 'විචිකිච්චාව' ගැනත් ඒ අයුරින් සිතන්න. ජොසෙෆ්ට සැපයූ බැඳිය ඔස්සේ ගියොත් ඔබට ඒ ගැන තව කරුණු කියවිය හැක.

      Delete
    7. සිතුවිළිJanuary 7, 2013 at 7:37 AM

      කේ එයනම් මනා පිළිතුරකි,
      සංශිප්ත කලහොත්,
      විචිකිච්චාව යන පාලි පදයෙහි සිංහල නිරුක්තිය සැකයයි.
      බුදුන් විසින් පංච නීවරණ ධර්ම ආදී තැන්හි දැක්වීමේදී සැකය යන පදය යොදා ඇති නමුත් එහිදී එය යොදා ඇත්තේ එහි මුල් අරුතින්ම නොව. වඩා ඉලක්කගතව අදාල කරුනට ගැලපෙන අරුතකිනි.

      ඔබවිසින් දුන් මේ විවරනය ඉතාම පැහැදිලි අරුතක් මතු කරයි. එසේ වූ කල විචිකිච්චාව යනු සැකය යයි සරලව කරන හැඳින්වීම නිවැරදි නොවූවද වැරදි නැත. දහම ගැඹුරින් හැදෑරීමේහි කැමැත්තන් පමනක් මේ ගැටළුවට මුහුණ දෙනු ඇත, අනෙකුන් බුදුන් කෙරෙහි සැක (සරළ අරුතින් ) ඉපදවීම නිවන වලකන ධර්මයකියි එය පිළිගනු ඇත.
      එවන් පිළිගැනීමක් සුගතියට මිස දුගතියට හේතු නොවනා බැවින් එහිද වරදක් නැත.

      එසේම, සරළ අරුතින් බුද්ධාදී අට තැන් සැක කිරීම නිවන වලකායැයි සැක නොකර විශ්වාසය තබන්නා විචිකිච්චාව නම් වූ නීවරන ධර්මයෙන් ඒ අරුතින්ම නො මිදේ එහෙත් ඒ විශ්වාසය තුලින් බොහෝ සුගතිගාමී විමට මග සලසා ගනී.

      මාගේ ගැටළුව විසඳූ ඔබට බොහෝ පින්.

      Delete
    8. K,

      =/? විසින් ඉදිරිපත් කළ අට තැන් ඔබ විසින් ස්ථිර කළ අයුරු පෙනේ. ඔබ ඉදිරිපත් කළ 'බැඳිය' (මේ වචනය මමත් ඉදිරියට භාවිතා කරනු ඇත) නැවත නැවත කියවිය යුතුය. ඔබටත් එය ලියූ හිමියන්ටත් මේ 'විචිකිච්චා' ප්‍රශ්නය ඉදිරිපත් කළ සිතුවිළිටත් පින් අත් වේවා.

      විචිකිච්චාව ගැන ඔබ ඉදිරිපත් කළ සර්කස් උපමාවෙන්ම මම එය තේරුම් ගතිමි. ප්‍රශ්නය පැවතුනේ සිතුවිළිට නිසා ඒ බව නොකියා සිටියෙමි. ඔබ "අර්ථය පටු කර ගැනීම" ගැන කී පසු ඒ ගැන වෙනත් විස්තර අවශ්‍ය නැත. එය ඒ අයුරින්ම වෙන කෙනෙකුට විස්තර කර දීමට අපට හැක. මේ මුළු සාකච්චාවේම වැදගත්ම කාරණාව එයයි. ඔබ දුන් ඉතිරි උදාහරණ වචනද සැළකූ කළ මේ 'අර්ථය වෙනස් කර ගැනීමේ' ප්‍රවාදය බොහෝ තැන්හි අප පිහිටට එන බව විශ්වාසය.

      තවද, ඔබ නම් වශයෙන් මේ සාකච්චාවේදී සඳහන් කළ කතා ඔබේ බ්ලොග් අඩවියට ලිවිය හැකියි නේද? ඒ සමහර කතා අප දන්නේ නැත (ඛුජ්ජුත්තරා දාසියගේ කතාව නොදනී; විඩූඩභ කුමරු විසින් කළ ශාක්‍ය සංහාරය ගැන දන්නා නමුත් එය විචිකිච්චා සන්ධර්භයට ගැලපෙන අයුරු පැහැදිලි නැත).

      Delete