Thursday, December 27, 2012

ජයශ්‍රී මහාබෝධිය වැඩමෙව් උඳුවප් පුර පසළොස්වක


මහබෝ වැඩමවීම - සෝලියස් මෙන්දිස්, කැළණි විහාරය
ඉංගිරිසි වර්ෂ ක්‍රමයට අනුව වසරේ අවසන් පුන් පෝදිනය උඳුවප් පුර පසළොස්වක පෝයයි. වස් සමයේ නිමාව සිදු වී උදෑසන සිසිල දනවන හා දහවල සෞම්‍ය කාලගුණයක් මේ කාලයේ පවතී. එසේ වුවත් රජ රට හා දිවයිනේ උතුරුදිගට, පෙරදිග හා ගිනිකොණදිග පෙදෙස් වලට තවදුරටත් වැසි වැටේ. මේ කාලයේ ගොවීහු හේන් ආදී ගොඩ ගොවිතැන් ද අරඹති. මේ මාසයට උඳුවප් යන නම ලැබුනේ මේ කාලය උඳු වැපිරීමට සුදුසු කාලය නිසා බව කියැවේ.

උඳුවප් මාසය බොහෝ ස්වභාවික ව්‍යසන සිදු වන කාලයකි. වප්-ඉල් මාස වලදී වැපිරූ ගොයම ගංවතුර වැනි ව්‍යසනයකින් හානි වී ගියහොත් ඒවා නැවත වගා කිරීමද මේ කාලයේදී කර ගැනීමට ගොවීහු යුහුසුළු වෙති. බාල වී (අඩු මාසෙන් පැසෙන වී වර්ග) සිටවන අද කාලයේ බොහෝ පෙදෙස් වල කුඹුරු වැඩ ඇරඹෙන්නේ උඳුවප් මාසයේය.

උඳුවප් මසින් පසුව එන දුරුතු මාසයේද දෙය්යන්නේ ලෙඩ ලෙස හැඳින්වන වසංගත පැතිරීමද වැඩිය. වෛරස් නම් ක්‍ෂුද්‍රජීවී විශේෂ වලින් සෑදෙන බව මේ වන විට නූතන වෛද්‍ය විද්‍යාවෙන් තහවුරු කර ඇති මෙකී රෝග උඳුවප්-දුරුතු මාස වල වැඩි වීමට හේතුව ඉන්දියාව පිස හමා එන ඊසානදිග මෝසම ලෙස හැඳින්වෙන සුළං ප්‍රවාහ විය යුතුයි.

උඳුවප් පෝ දිනයේ සිදු වූ ශාසනික කටයුතු ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

මිහිඳු මාහිමියන්ගෙන් දහම් අසා සෝවාන් වූ අනුලා බිසව ඇතුළු ස්ත්‍රී පිරිස තමන් ද පැවිදි වීමට කැමති බව දේවානම්පිය තිස්ස රජුට දැන්වූහ. රජ්ජුරුවෝ ඒ බව මිහිඳු හිමියන්ට සැල කළහ. තමන්ට ස්ත්‍රීන් පැවිදි කිරීමට බුදු රජුන් විසින් අනුදැන වදාරා නොමැති බව උන් වහන්සේගේ පිළිතුර විය. ඒ හේතුවෙන් ලක්දිව භික්ෂුණි සාසනය පිහිටුවීම පිණිස මිහිඳු මාහිමියන්ගේ නැගණිය, සුමන සාමණේරයන්ගේ මව් තුමිය, වන සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ලක්දිවට වැඩම කරවන ලෙස ඉල්ලා දඹදිවට හසුන් පත් යැවිණි.

මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි බුද්ධගයාවේ අපරාජිත භූමියේ වැඩ වසන ශ්‍රී මහා බෝධි රාජයාගේ දක්ෂිණ ශාඛාවද ඒ සමගම සිරිලක වැඩමෙවිණි. දේවානම්පියතිස්ස රජු විසින් කරවටක් දියට බැස මහත් ගෞරවයෙන් පිළිගත් එම දක්ෂිණ ශාඛාව මහ පෙරහරින් අනුරාධපුර වැඩමවා මහමෙවුනා උයනේ රෝපිතව අද දක්වාත් දෙව් මිනිස් බුහුමන් ලබමින් වැඩ වෙසෙයි.

සිංහලයෝ රාජ්‍යයට අහිමිව වනගතව සිටි වකවානු වල පවා, මහත් දුර්භික්ෂ පැවති වකවානු වල පවා, ස්වකිය ජිවිත පරිත්‍යාගයෙන් මහබෝධීන් වහන්සේ රැක ගත්හ. වාර්ෂිකව දරමිටි පෝය පැවැත්වෙන්නේ මේ දුෂ්කර ක්‍රියාව සිහි කරමිණි.

සමන්ත කූඨය, ගඟුලතැන්න ප්‍රදේශයට පෙනෙන ආකාරය

මහා කාරුණික සම්මා සම්බුදු රජාණන් වහන්සේ සුමන සමන් දෙවි රජුගේ ආරාධනයෙන් තෙවන වර ලක්දිව වැඩම කර පන්දහසක් කල් බුදු සසුන පවත්නා ලංකාද්වීපයේ වාසය කරන පින්වත් දෙව්මිනිසුන්ගේ පුද පූජා ලැබීම පිණිස සවකිය වාම ශ්‍රී පාද ලාංඡනය සමන්ත කූඨය මත තබා වදාළහ. වසරේ සය මසක් වනයෙන් වැසී පවත්නා සමන්ත කූඨය වෙත යන දුෂ්කර මාර්ගය එළිපෙහෙළි කර සැදැහැවත් කුල පුත්‍රයන්ගේ වන්දනාව පිණිස සකස් කෙරෙන්නේ ද උඳුවප් මාසය තුලදීය. උඳුවප් පුර පසළොස්වක පෝ දිනෙන් ශ්‍රී පාද වන්දනා සමය ඇරඹේ.

මේ වන්දනා සමයේ සිරිපා කරුණා කරන මනුෂ්‍යයෝ තෙරුවණ කෙරෙහි ශ්‍රද්ධාවෙන් හා සුමන සමන් දේව රාජයා කෙරෙහි ගෞරවයෙන් යුක්තව, මහත් කුසලයක් කර ගන්නා සිතුවිලි ඇතිව, සියළු සතුන් කෙරෙහි මෛත්‍රියෙන් යුක්තව, නොඉඳුල් වනඅරණක් වන සමනල අඩවිය නොයෙක් ආකාරයේ 'නූතන' කුණු කන්දල් වලින් අපවිත්‍ර නොකර, සන්සුන්ව සංවරව වන්දනා කරගෙන සුරක්ෂිතව තම ගම් රටවල් කරා පෙරළා ඒමට සිතට ගත යුතු.

Tuesday, December 25, 2012

සුභ උපන් දිනක් !

ජේසු බිළිඳා සිය මව් තුමිය හා ...

ලෝ පුරා කෝටි සංඛ්‍යාත ජනකායක් උත්සවාකාරයෙන් සමරන ජේසු බිළිඳාගේ උපන් දිනය අදයි. වසර 2011 කට පෙර අද වැනි දිනක බෙත්ලෙහෙම් පුරයේ දිළිඳු ගව ලෙනක උපන් ඒ අසිරිමත් කුමරුට, ජේසු බිළිඳුට, අපිත් සුභ උපන් දිනක් පතමු.

Thursday, December 13, 2012

2013 දින දසුන

2013 Calender placeholder image

දෙතිස් කතා කියවන මිතුරන් සැම දෙනාට වසර පුරා තබා ගත හැකි ත්‍යාගයක්.
බා ගැනීමට මෙතැන කොටන්න.


[13 Pages | PDF | 1.05MB] 

Tuesday, December 11, 2012

නීලදන්ත පාෂාණ මූසිකය

පුංචි රටක් වුවත් ශ්‍රී ලංකාව වසර තුන් දහසකට ආසන්න ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියයි. මෙවන් දීර්ඝ ලිඛිත ඉතිහාසයක් ඇති වෙනත් ජාතියක් මේ මිහිමත නැත.

ජනප්‍රවාද මුලාශ්‍ර අනුව මේ ඉතිහාසය වසර දස දහසකටත් එහා දිවෙයි. බලි තරු රාවණ ඈ හෙළ රජ වරුන් ගැන කියැවෙන කතා මෙන්ම ඒ කතා හා ඇඳුනු ස්ථාන, ශාක හා සත්ත්ව නාම ආදිය අදද භාවිතයේ පවතී. කිසියම් හෝ සත්ත්‍යයක් නැතොත් ඒවා මෙපමණ කාලයක් අප ඇසුරේ එසේ රැඳී තිබීමට හැකියාවක් නැත.

රාවණා රජ සමයේ හෙළයෝ ගුවන් විමන් වලින් ආකාශයෙන් ගමන් ගිය බවටත්, න්‍යෂ්ටික ආයුධ වලින් සතුරාට එරෙහිව සටන් කළ බවටත් රාමායනය දෙස් දෙයි. එතෙකුදු වුවත් එකී හෙළයින් පරිගණක තාක්ෂනය භාවිත කළ බවට මෙතක් සාක්ෂි ලැබී තිබුනේ නැත. දුම්බර කඳු වැටිය ආශ්‍රිතව රාවණ විද්‍යාත්මක පරීක්ෂණ වල යෙදුනු දේශීය පර්යේෂකයින් පිරිසක් විසින් එවැනි හෝඩුවාවක් සොයා ගැනීම පිලිබඳ ලොමු දැහැගැන්වෙන පුවත අප අද, එනම් 2012 දෙසැම්බර් මස 11 වන දින, ලොව කැළඹු මෙක්සිකානු මායාකාරයින් විසින් පුරෝකථනය කළ ලෝක විනාශයට හරියටම දින දහයකට පෙර, ඔබ වෙත මෙසේ හෙළි කර සිටිමු.

නීලදන්ත පාෂාණ මූසිකය
ඒ අපූර්ව සොයා ගැනීම වූ කලී තනි කළුගලින් නිමැවූ පරිගණක මවුසයකි (රූපය බලන්න - උපුටා ගැනීම: ලක්දසුන් වෙබ් අඩවිය). මේ ප්‍රදේශ වල ගැමියන් කියන්නේ මේ පාෂාණ මූසිකය රාවණ රජ සමයට අයත් බවයි. මූසිකය සම්බන්ද සම්බන්දිත තතක් (wire) මෙතෙක් කළ කැනීම් වලදී හමු වී නැති නිසා මෙය අතත්‍ය (wireless) තාක්ෂනය සහිත මූසිකයක් බව පර්යේෂකයෝ අනුමාන කරති. එවැනි අතත්‍ය තාක්ෂණයක් පුලස්ති සෘෂි වරයා විසින් සොයාගෙන තිබුණු බවත් ඒ තාක්ෂනය නීලදන්ත අඳුන ලෙස හැඳින්වූ බවත් අඳුන්පොත (මේ වැදි ජනයා විසින් භාවිතා කරන හඳුන්පොත නොවේ) නම් පැරණි පුස්කොල පොතේ දැක්වේ.

පාෂාණ මූසිකය ගැන වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ පිළිබඳව සොයා බැලීමට දුම්බර අඩවියට විද්වත් කණ්ඩායමක් යැවීමට දෙතිස්කතා වෙබ් අඩවිය කටයුතු යොදාගෙන යයි. වැඩිදුර විස්තර ලැබුණු වහාම ඔබ වෙත ඉදිරිපත් කිරීමට දෙතිස්කතා සුදානම්.

Saturday, December 8, 2012

කඨින පූජා ගැන සටහනක්

මේ ලිපිය සිතුවිළි නමැති මා මිතුරා ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරකි. ඔහුගේ ප්‍රශ්න පහත පරිදි වේ.
  • කඨින චීවර පූජාව දහම හා බැඳෙන්නේ කෙසේදැයි ඔබට මා වෙත පහදා දිය හැකිද, එය සාමාන්‍ය චීවර පූජාවකට වඩා වෙනස් වන්නේ කුමන අයුරකින්ද?

  • "මා දකිනා හැටියට කඨින චීවර පූජාව යනු ධනවතුන් විසින්ම කරනු ලබන ලෞකික අපේක්ශා මුදුන් කොට කරන පින්කමකි, මෙ පින්කමෙහි ඇතුලාන්තය ගැන මා නොදනී." එමෙන්ම භික්ෂුවක් උදෙසා කරන අන් චීවර පූජාවකට වඩා මෙවැන්නක් උසස් වන්නේ කෙසේද? එය දහම හා ගැලපෙන්නේ කෙසේද? යන වගත් දැන ගැන්මට කැමැත්තෙමි.
මෙතැන් සිට සංගෘහිත වන්නේ ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරුයි. රචනාව කෙටි කර ගැනීම පිණිසම කෙටි මාතෘකා බෙදා කරුණු වලට ගොනු කළෙමි. වැඩිදුර විග්‍රහ වලට නොයමි.

වස් විසීම, වස් පවාරණය හා චීවර මාසය

  • සියලු උපසපන් භික්ෂූහු වස් විසිය යුත්තාහ. වස් විසීමේ ක්‍රම දෙකකි. පෙරවස් විසීම හා පසු වස් විසීම වශයෙනි.
  • සාමාන්‍යයෙන් පෙරවස් සමාදන් වන්නේ ඇසල පෝ දිනයි, වප් පෝ දින පවාරණය කරයි. සාමාන්‍ය පසුවස් විසීම නිකිණි පෝ දින කර ඉල් පෝ දින පවාරණය කරයි.
  • වප් සහ ඉල් පෝ දින දෙක අතර කාලය චීවර මාසය වේ. කඨින පින්කම් පැවැත්විය හැක්කේ මේ මාසය තුලදී පමණි.
  • වස් නොකඩා රැක ගෙන පවාරණය කළ භික්ෂුවකට පමණි කඨින චීවරයක් පිලි ගත හැක්කේ. මේ හේතුවෙන් පසුවස් විසූ භික්ෂුවකට කඨින චීවරයක් පිළිගත නොහැක.

කඨින පිංකම සහ එහි දුර්ලභ බව

  • කඨින චීවරයක් පිළිගත හැක්කේ උපසම්පදා භික්ෂුවකට පමණි. එසේම මේ පිංකමට උපසම්පදා හිමි වරු පස්නමක් වත් සිටිය යුතුය. ලක්දිව උපසම්පදාව අතුරුදහන් වී තිබූ අඳුරු කාල වල වාසය කල පිංවතුන්ට මේ පිංකම කර ගත හැකි නොවීය.
  • එසේම කිසියම් ආරන්‍යයක, පන්සලක, විහාරයක වස් විසූ භික්ෂුන් නැතිනම් කඨින පූජාවක් කළ නොහැක. වස් විසූ භික්ෂුන් සිටියත් ඒ අය වස් බිඳගෙන සිටීනම් ඒත් මේ පූජාව කළ නොහැක.
  • වස් විසූ භික්ෂූන් කොතෙක් සිටියත් විනයානුකුලව ඇතිරිය හැක්කේ එක් කඨිනයක් පමණි, එනම් පූජා කළ හැක්කේ එක කඨින චීවරයක් පමණි.
  • එසේම, පූජා කරන වස්ත්‍රය කපා මසා පඬුපොවා සිවුරක් ලෙස සකස් කිරීමද වරුවක් තුල සිදු කළ යුතුය. මෙය වෙහෙස නොබලා කළ යුතු සියුම් කාර්යයකි.
  • කඨින චීවරය තෙවරක් පූජා කෙරේ. පළමු වර දායකයන් විසින් අරුණ නැගීමට පළමු මහසඟරුවනට වස්ත්‍රය පිළිගැන්වේ. දෙවනුව ඒ වස්ත්‍රය චීවරයක් ලෙස සකස් කර මහසඟරුවනට පිළිගැන්වේ. තෙවනුව මහසඟරුවන විසින් එහි සිටින භික්ෂූන් වහන්සේලා අතරින් ඒ විහාරයේ පෙරවස් වසා එය නොකඩා රැකගෙන මහා පවාරණයෙන් පවාරණය කළ සුදුසු නමක් තෝරා කඨින චීවරය පිළිගැන්වේ.
  • එසේ පිළිගැන්වීම විනය කර්මයකි. වෙනත් චීවර දානය හා ප්‍රතිග්‍රහණය විනය කර්මයක් ලෙස නොගැනේ. (මේ පිංකමට උපසම්පදා භික්ෂුන් පස් නමක් අවැසි වෙන්නේ එය විනය කර්මයක් වන බැවිණි.)
  • පළමු වර මහසඟ සතු කොට පිදුණු වස්ත්‍රය නැවත චීවර සම්පාදනය පිණිස දායකයන්ට පැවරීමත්, එසේ සකස් කෙරුණු චීවරය මහසඟ පිරිස විසින් එක් නමකට පූජා කිරීම නිසාත් මේ පිංකමට රැස්ව සිටින සියළු දෙනා එක වරම දායකයින් හා ප්‍රතිග්රාහකයින් බවට පත්වේ. මෙය සිදු වන වෙනත් අවස්තාවක් මට සිහි නොවේ.

කඨින චීවර පූජාවේ ආනිසංශ

දායකයාට මෙන්ම ප්‍රතිග්‍රහකයාට ද කඨින චීවර පූජාවෙන් ලැබෙන ආනිසංශ දහමේ විස්තර කෙරේ.

කඨින චීවරය පිළිගත් සංඝයා වහන්සේට ලැබෙන ප්‍රතිලාභ

කඨින චීවර පූජාව පිළිගත් මහාසංඝයා විසින් තෝරාගත් එක් නමකට එම චීවරය පවරනු ලැබේ. එය පිළිගන්නා නමට විශේෂ වරප්‍රසාද කිහිපයකට හිමිකම් ලැබේ.
  1. අනාමන්‍තචාරො : භික්‍ෂූන් වහන්සේ නමක් තමන්වහන්සේ වැඩ සිටින ආවාසයෙන් පිටත වඩින විට කිසිවෙකුට හෝ කියා වැඩිය යුතු ය. කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට කිසිවෙකුට නොදන්වා ආවාසයෙන් පිටවිමෙවන් කිසිදු ඇවැතක් සිදු නොවේ.
  2. අසමාධානචාරො : සෑම දිනක ම අරුණු නැගෙන විට භික්‍ෂුව සමීපයෙහි තුන් සිවුර තිබිය යුතු ය. එසේ නොවුණහොත් ඇවැතක් සිදු වේ. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට තුන් සිවුර සමීපයෙහි නොතිබුණාට ඇවැතක් සිදු නොවේ.
  3. ගණභොජනං : සැදැහැවත් දායකයින් භික්‍ෂූන් වහන්සේලාට සිය නිවසේ දානයකට පොදුවේ ආරාධනා කළ යුතුය. පෞද්ගලිකව ආරාධනයක් පිළිගතහොත් ඇවැතක් සිදු වේ. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට දායකයාට අනුග‍්‍රහ පිණිස පෞද්ගලික ව හෝ නිවසකට වැඩම කොට දානය වැළදීමෙන් ඇවැතක් සිදු නොවේ.
  4. යාවදත්‍ත චීවරං : උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නමකට තුන් සිවුරක් අධිෂ්ඨාන කරගෙන පරිහරණය කරන්නේ නම්, ඊට අමතර ව සිවුරු පරිහරණය කළ නොහැක. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට සිවුරු ඕනෑම ප‍්‍රමාණයක් පරිහරණය කළ හැක.
  5. යො ච තත්‍ථ චීවරුප්පාදො සො නෙසං භවිස්සති : අන්‍ය අවස්ථාවන්හිදී සඟ සතුකොට පූජා කළ පූජාවන් තනි ව පරිහරණය කිරීම වරදකි. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට පූජා කරන ලද සියලූ ම දේවල අයිතිය හිමිවන අතර, සියල්ල පෞද්ගලික ව වුවද පරිහරණය කළ හැක.
මේවා සාමාන්‍ය භික්ෂු විනය ඉක්මවා යාම් වේ.

කඨින චීවර පූජා කිරීමේ ආනිසංශ

කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන අනුසස් බුද්ධ දේශනාවේ මෙසේ සඳහන් වෙයි.
"ගිරිරාජ සමංරාසිං - සංඝෙ දේති තිවිවරං
ඒකස්ස කඨින දානස්ස - කලං නාග්ඝති සෝළිසිං
මහාමේරු පර්වතය දක්වා උසට තුන්සිවුරු (තනිපට සිවුර, දෙපට සිවුර හා අඳනය) පූජා කළත්, කඨින චීවරයක් පිදීමෙන් ලැබෙන අනුසස්වලින් දහසයෙන් පංගුවක් හෝ නොලැබේය යනු එහි දළ අදහසයි.

පිරිසිදු දඹ රනින් අකනිටා බඹ ලොව දක්වා උසට සෑයක් සාදවා පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨින චීවරයක් පූජා කිරීමේ කුසලයේ දහසයෙන් පංගුවක් වත් නොවන බව තව තැනක දැක්වේ.

කඨින චීවරය මැසීමට ගසන එක් ඉඳීකටු පහරකට තිසිහතර වාරයක් බැගින් සක්විති රජව ඉපදීමට තරම් හේතු සම්පත් ඇති බව
"ආරපථෙ ආරපෙථ - චක්කවත්ති සිරිං ලභෙ
අසිතිං ච චතුක්ඛත්තුං - චක්කවත්ති අහොසහං"
යන ගාථා පාඨය පැහැදිලි කරයි.
"පඨවිරිව න ජාතු කම්පතෙ - නචලති මේරු රිවාති වායුනා
වජිරමිව න භිජ්ජතෙ ඝනං - තමිද මතො කඨිනන්ති චුච්චති"
මහ පොළව මෙන් කම්පා නොවන මහමෙරමෙන් සුළඟින් නොසෙල්වෙන ඒකඝන වූ වජ්‍ර පර්වතයක් මෙන් නොබිඳෙන හෙයින් කඨිනය යන වචනය ව්‍යවහාර කෙරේ යනු ඉහත ගාථාවේ අදහසයි.

මෙසේ කඨිනානිසනිශංස ගැන කියැවෙන ගාථා බොහෝ ගණනක් ඇත. මේවායේ දැක්වෙන උපමා ඉවත් කර ඉතා සරලව කීවොත්
"මානුසිකාච සම්පත්ති - දේවලෝකේච යා රතී
යාච නිබ්බාණසම්පත්ති - සබ්බමේතේන ලබ්භති"
යන ගාථාවෙන් දැක්වෙන ලෙස මිනිස් ලොව, දෙව් ලෝ වල උතුම් සැප විඳීමටත් නිවන් දක්නා තුරා කල්ප ගණනක් සැපම ලබා දීමටත් මේ පිංකමට බලයක් පවතී. මෙය අට මහා කුසල් වල මුලටම කියවෙන්නේ නිර්වාණාවබෝධයටද මේ පින උපස්තම්භක වන නිසයි.

ටිකක් විස්තර කළොත්,
  • උපනුපන් සියලූ භවයන්හිදී දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත්, පරිවාර සම්පත්, ආහාරපාන, ඉඳුම්හිටුම්, වස්ත‍්‍රාභරණ මෙන් ම සියලූදෙනාගේ ගරුබුහුමන්, වැඳුම්පිදුම්, පූජාසත්කාර ආදිය හිමි වේ.
  • සියලූ දෙසින් පැමිණෙන සියලූ උපද්‍රවයන්ගෙන් ආරක්‍ෂාව ලැබේ.
  • සියලූ පූර්ව අකුසල කර්මයන්ගේ විපාකවල බලපෑම අඩු වේ.
  • මනුලොව උසස් කුල වලම උපදී.
  • චක‍්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය මෙන් ම ශක‍්‍ර සම්පත්තිය ද ලැබීමට හැකි වේ.
  • කොතැනක ඉපදුණත් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් හා ප‍්‍රඥාවෙන් ආඪ්‍ය වූ ජීවිතම ලබයි.
  • සියලූ ක්ලේශ බන්‍ධනයන්ගෙන් මිදී නිවන් අවබෝධ කරගැනීමටත් හේතු වාසනාව ලැබේ

කඨින චීවර පූජාවේ පරිවාර දාන

මේ පිංකම කෙරෙන විට කඨින චීවරයට අමතරව තව චීවර හා වෙනත් කැප භාණ්ඩ ඕනෑ පමණක් සංඝික කර පූජා කළ හැක. ඒවාද කඨින පිංකමේ කොටස් බවට පත් වන හෙයින් අනෙක් දාන වලට වඩා මහත්ඵල මහානිසංශ වේ. කඨින පිංකමේදී පූජා කරන ඉඳි කටුව පවා බොහෝ සැප සාදා දීමේ සමත් වේ.

පෙර කළ රජ වරු පවා ඉතා උනන්දුවෙන් මේ පිංකම පැවැත්වූහ. බොහෝ රජවරු මේ පිංකම රාජ්‍ය අනුග්‍රහ සහිතව බොහෝ පිරිවර සමග එක් වී එදිනම කපු කැට නූල් අඹරා ඒවායින් රෙදි වියා ඒ වස්ත්‍ර වලින් කඩ කපා මසා චීවර නිපදවා කඨින චීවර ලෙස සකසා බොහෝ අවශේෂ පරිෂ්කාර සහිතව දන් දී පිරිවර සමග දෙව්ලෝ ගියහ.

ඒ නිසා කියන ලදී, පිං කැමැත්තෝ කඨින චීවර දානය කෙරේ සැදෑ ඇති කර ගනිත්වා !



ඉහත විස්තර කළ කඨිනානිශංස පිලිබඳ විශ්වාසය හේතුවෙන් ඕනෑම විහාරස්ථානයක වාර්ෂික කඨින චීවර පූජා පිංකම ඉතා සාර-භාර පිංකමක් වී තිබේ. පෙර මෙන් ජනයාගේ හිත සුව පිණිස චාරිකාවේ හැසිරෙන භික්ෂූන් දුර්ලභ මෙකල වසර පුරා පන්සලට වී සිටින භික්ෂූන් වහන්සේට අමුතුවෙන් ආරාධනා කර වස් වස්වති.

වස් කාලය පුරා නොයෙක් විසූක-දස්සන සහිත පුද පූජා පවත්වනු ලැබේ. වස් කාලය අවසානයේ හේවිසි හොරණෑ ගසමින් - භක්ති ගී කියමින් - නැටුම් නටමින් - මල් බයිසිකල් - කොඩි, සේසත් සහ සමහර විට අලි ඇතුන්ද සහිත පෙරහැරකින් කඨින චීවරය වීථි සංචාරය කර පන්සලට වඩම්මති. මග දිගට ජනයා හිමිදිරිය පින්න නොබලා ඊට පුද පූජා කෙරෙති. සමහර විට කඨිනය සමගම කප්රුක් පූජාද පවත්වති.

විශේෂයෙන් අගනුවර ආශ්‍රිත හා නාගරික ප්‍රදේශ වල විහාරස්ථාන වල කඨින චීවරය බාර ගැනීමම තරඟයක් වී තිබේ, කඨින චීවර පූජාව පැවැත්වීම තත්ත්වය ප්‍රදර්ශනයක් වී තිබේ. මේ සියල්ලට හේතුව ඉහත දැක්වූ කඨිනානිශංස මිස වෙනත් දෙයක් නොවේ.

සිතුවිළි මා මිතුර, "මා දකිනා හැටියට කඨින චීවර පූජාව යනු ධනවතුන් විසින්ම කරනු ලබන ලෞකික අපේක්ශා මුදුන් කොට කරන පින්කමකි" යන ඔබේ අදහස මින් තහවුරු වූ බව සිතෙන්නේද?