Tuesday, November 27, 2012

ඉල් පුර පසළොස්වක

අනුරාධපුර ථුපාරාම වෙහෙර වහන්සේ
මේ චීවර මාසයයි. චීවර මාසය යනු වප් අව පෑලවිය සිට ඉල් පුර පසළොස්වක දක්වා වන දින තිහයි. පෙර වස් වසා මහා පවාරණයෙන් වස් පවාරණය කළ භික්ෂූහු කඨින චීවර පිළි ගැනීමට සුදුසුකම් ඇත්තෝය. ඒ පින්වත් හිමිවරු ප්‍රමුඛ කොට ගෙන සැදැහැවත් උපාසක උපාසිකාවෝ මේ මාසය තුල කඨින පින්කම් පවත්වති. චීවර මාසය අවසන් වන ඉල් පුන් පෝ දින වස් පවාරණය කරන්නෝ පසුවස් සමාදන් වූ භික්ෂුන් වහන්සේලාය. උන් වහන්සේලාට කඨින චීවර පිළිගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.

ලක්දිව ප්‍රථම වස් වාසය මිහින්තලයේ විය. වස් පවාරණය කළ මිහිඳු මහ තෙරහු වන්දනීය වස්තුන්ගේ අවශ්‍යතාව දේවානම්පියතිස්ස රජුට දැන්වුහ. ථුපාරාමය ප්‍රමුඛ ලක්දිව වන්දනීය ගොඩනැගිලි වල ආරම්භය මෙයයි.


පස්වග මහණුන්ට දම්සක් දෙසා වදාළ තිලෝගුරු බුදු රජාණන් වහන්සේ ප්‍රථම වස් කාලය බරණැස ඉසිපතනාරාමයේම ගත කළහ. යස කුලපුතු, ඒ කුමරුගේ මිතුරු විමල, සුබාහු, පුන්නජි හා ගවම්පති යන කුමරුවන් හා තවත් පනසක් පිරිවර මහණ වී උතුම් අරහත් බව ලබා ගැනීම මේ වස් සමය තුල සිදු විය. ඒ හේතුවෙන් එම වස් සමය නිමා වන විට ලොව (සර්වඥයන් වහන්සේ සමග) රහතුන් එක් සැට නමකගෙන් පරිපුර්ණ විය. ඉල් මස පුර පසළොස්වක දා උදෑසන මේ රහතුන් සැට නම තමන් වහන්සේ ඉදිරියට කැඳවූ මහා කාරුණිකයන් වහන්සේ 'චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ...' යනාදී වශයෙන් උන් වහන්සේලාට අනුශාසනා කොට උන් වහන්සේලා සැට නම සැට මගෙක යවා බරණැසින් නික්ම උරුවෙල් දනව්වට යන මගට පිළිපන්හ.

එසේ පිළිපන් උන් වහන්සේ අතරමග කපු වන ලැහැබක් දැක එහි වූ එක්තරා ගසක් මුල වැඩ හුන් සේක.

එකළ කොසොල් රට රජ කුමරුවෝ තිස් දෙනෙක් කප්පාසික නම් වනයක් ඉතා රම්‍ය යැයි අසා කෙළි පිණිස එහි ගියහ. ඒ කුමරුවෝ ඉතා උතුම් වූ රුව ගුණ දරන බැවින් භද්‍ර වර්ගීය නමින් ප්‍රකටයහ. උන් තිස් දෙන අතරින් එකෙක් තම අඟනක් නැති හෙයින් වෙසඟනක කැඳවාගෙන ගියේය. ඒ වෙසඟන කුමරුන්ගේ ප්‍රමාදයක් දැක උන්ගේ අබරණ රැගෙන පලා ගියාය. ඒ කුමරුවෝද අබරණ හා ඈ සොයන්නෝ ගස මුල හුන් බුදු රජුන් දැක ස්ත්‍රියක් දුටුවෝද, නුදුටුවෝදැයි උන් වහන්සේගෙන් විමසුහ. උන් වහන්සේ "කුමරුවනි, අනුන් සෙවීම වඩා උතුම්ද, නොහොත් තමන් සෙවීම වඩා උතුම්දැයි" පැනයෙකින්ම ඒ කුමරුන්ට පිළිවදන් දුන්හ.

තමන් සෙවීමම උතුම් බව ඒ කුමාර වරු කීහ. එසේ විනම් මෙහි හිඳුවයි වදාරා බුදු රදුහු උන්ගේ චරිතානුරූපී බණ දෙසුහ. ඒ කුමරුවෝ එබණ අසා සව් කෙළෙසුන් නසා රහත් වූහ. රහත්ව ඒහි භික්ෂු භාවයෙන් පැවිද්ද ලැබූ ඒ තෙරවරු තිස් මගක ධර්ම ප්‍රචාරය පිණිස වැඩම කළහ. බුදු රජුන්ද උරුවෙල් කසුබ් ආදී කොට ඇති තුන් බෑ ජටිලයන් දමනය කිරීම පිණිස හුදෙකලාවම උරුවෙල් දනව්ව බලා වැඩියහ.


බුද්ධත්වයෙන් සත් වන වසරේ වප් පුන් පෝ දින සංකස්ස පුරයේ පැවති දේවාරෝහණ උත්සවය දැක අතිශයින් පැහැදී බුදු සස්නේ පැවිදි වූ මෛත්‍රී බෝසතුන් අවසන් නියත විවරණය ශාක්‍යසිංහ ගෞතම බුදුරජානන් වෙතින් ලබන්නේ අද වන් ඉල් පුන් පෝ දිනයකය.


දේවාරෝහණ උත්සව අවස්ථාවේ බුදු රදුන් හා විචිත්‍ර ධර්ම සාකච්චාවක් පවත්වා ප්‍රඥාවන්තයින් කෙරෙන් අග්‍රස්ථානය ලැබූ, ධර්ම සේනාපති වූ, අග්‍ර ශ්‍රාවක වූ සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූයේ ද ඉල් පුර පසළොස්වක පෝ දිනකයි. එකළ බුදු රජුන්ද අසූ වයස් වූහ. බුදු රජුන්ට පෙර අග සව්වන් පිරිනිවන් පානා බව උන් වහන්සේ දිවැසින් දුටහ. උන් වහන්සේගේ සොයුරු සොයුරියන් සියළු දෙනාම පැවිදිව රහත් බවට පත් වී සිටියත් මව් බැමිණිය පමණක් මිසදිටු ගෙන වෙසෙයි. ස්වකිය ආයු ගෙවුණු බැව් දැන ගත් සාරිපුත්තයන් වහන්සේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දැක පිරිනිවනට අවසර ලබාගෙන ස්වකිය මෑණියන් වසන නාලක ගමට වැඩම කළහ.

උන් වහන්සේට කලක සිට පවතින උදරාබාධයක් ඒ රාත්‍රියේ උත්සන්න විය. උන්වහන්සේ එදාම පිරිනිවන් පා වදාරණ බව දුටු සතර වරම් දෙව් රජවරු, ශක්‍ර දේවේන්ද්‍රයා හා මහා බ්‍රහ්මයා ආදීහු තුන්යම් රැය මුළුල්ලේ උන් වහන්සේට උපස්ථාන කළහ. ජිවිත කාලයක් මුළුල්ලේ තමන්ගෙන් පුද පූජා ලැබූවත් එක දිනක්වත් තමන් දැකීමට නොපැමිණි තමන්ගේ දෙවිවරු ඒ දෙවි වරුන්ට කිසි දින පුජාවක් නොපැවැත්වූ තම පුත්‍රයාට කරන උපස්ථාන දැක විස්මපත් වූ උපතිස්ස මාතාව අළුයම උන් වහන්සේගෙන් බණ අසා උතුම් සෝවාන් ඵලයට පත්ව තෙරුවන් සරණ ගියාය.

ස්වකිය මෙහෙවර අවසන් කළ, එබැවින් කිසිවෙකුට ණයක් නැති, කිසිවක් කෙරෙහි ඇල්මක් නැති සාරිපුත්තයන් වහන්සේ මහ පොළොවට ඉසිලිය නොහෙන සිය ගුණ කඳ දරා සිටිමින් රැස්ව සිටි ජනතාවට නොයෙක් සිය දහස් ගණන් ප්‍රාතිහාර්ය දක්වා දහම් දේශනා කොට නොයෙක් දෙනාට ස්වර්ග මෝක්ෂ සැප සාදා දී දකුණැලයෙන් සැතපී අනුපිළිවෙලින් ධ්‍යානයන්ට සම වැදී ඉන් නැගිට පරිනිර්වාණ සම්පත්තියට පැමිණ වදාළහ.


එසේ හෙයින්, සියළු සත්ත්වයෝ නොපමා වෙත්වා !

Saturday, November 10, 2012

දෙවියනි ඔබ කොහිද

මේ සිද්ධිය උනේ ටිකක් ඉස්සර කාලෙක. හැමෝම දන්නවනේ සුදු මහත්තුරු අපේ රටවල් ශිෂ්ඨාචාර කොරන්න ඒ කාලේ ආපු හැටි. එක අතක තුවක්කුව, ඒ එයාලගේ ආරක්ෂාවට; අනිත් අතේ බයිබලේ, ඒ අපේ ආරක්ෂාවට. ඉස්සර හිටි රතු ඉන්දියන් නායකයෙක් කියලා තිබුණා "සුදු මිනිහා එන විට බයිබලය උගේ අතේය, ඉඩම් අපේ අතේය. දැන් බයිබලය අපේ අතේය, ඉඩම් උගේ අතේය" කියලා. ඔන්‍න‍ ඕක තමයි හැම තැනම උනේ.

මේ සිද්දිය සිද්ධ උනේ දකුණු ඇමරිකාවේ ඇමසන් වනන්තරේ.

ඔන්න අපේ කතාවේ වීරයා තමන්ගේ කට්ටියත් එක්ක ඇමරිකාවට ගොඩ බැහැලා කණ්ඩායම් බෙදිලා ඇවිදගෙන ඇවිදගෙන යනවලු. යනවා යනවා ඒත් ඉවරයක්‌ නැහැල්ලු. මෙහෙම යනකොට කට්ටියට කෑම බීම හිඟ වෙලා, වැස්සට අහු වෙලා කරදරේ වැටිලා ඉන්නකොට කොරේ පිටට මරේ කියලා මේ යකා කණ්ඩායමෙන් මග හැරුනලු. මොනවා කරන්නද ඉතිං, අයියනායක දෙයියන්නේ පිහිටයි කියලා කොළ අත්තක් හෙම ගැට ගහලා මිනිහා ආපහු නැවට එන්න හැරුනලු.



ටික දුරක් එනකොට එක පාරටම මිනී මස් කන වැද්දෝ රංචුවක් මේ මිනිහව වට කර ගත්තා. වට කරං මුන් රංචුව නටනවා ... "හුංග බුංග හුංග බුංග හුංග බුංග" කිය කියා පිස්සෝ වගේ නටනවා. අපේ කතානායකයට දෙවියන් සිහි උනා.

"අනේ දෙවියනේ මම අදනම් ඉවරයි" කියලා මූට එක පාරටම කියවුනා. ඔන්න එතකොටම තමයි කැලේ ගස් අඹරවාගෙන හමන සුළඟක් එක්ක එක පාරටම ඉහලින් එළියක්‌ වැටුනේ. අපේ වීරයාට ඇහෙනවා ගැඹුරු කට හඬක්... "නෑ නෑ... දරුවා ... තමුසේ බය වෙන්න එපා... අහුල ගන්නවා ඔය ලොකු ගලක්... කෙලලා අරිනවා අර ලොකු පිහාටු තොප්පිය දාගෙන ඉන්න මහා එකාගේ ඔලුවටම" ඒ කට හඬ කිව්වා.

අපේ විරයත් ඉතිං මොනවා හිතන්නද, දෙවියෝනේ කියන්නේ, පැනපු ගමන් ගත්තා ලොකු ගලක්, දුන්නා නටන්නේ නැතුව බලං උන්න ලොක්කගේ ඔලුවටම. එක පාරයි, ඌ තපලා බිම. අපේ එකත් ඇරියේ නෑ, වැටිච්ච එකා පෙරලගෙන තව දෙක තුනක් දුන්නා අරූට. වැද්දෝ ටික නැටිල්ල නවත්තලා බලං ඉන්නවා වට වෙලා.

ඒ අස්සේ අර ගැඹුරු කට හඬ ආයේ ඇහෙනවා... "ඔන්න දරුවා දැන්නම් උඹ ඉවරෙටම ඉවරයි" !!!

Thursday, November 1, 2012

මුලු රටටම එක සංඛ්‍යාතයක්

නෙළුම් පොකුණ රඟහල විවෘත කළ පසු මේ රජයේ අවධානය දිනා ගත් ඊළඟ යෝධ ඉදිකිරිම නෙළුම් කුළුන ව්‍යාපෘතියයි. කොළඹ අහස ගැබ දර්ශනය වෙනස් කරන ඉතා උසැති (මීටර් 350) ඉදි කිරීමක් වන මෙය මෙතෙක් ලංකාවේ ඉදි කෙරුණ උසම කුළුන වනු ඇත. මේ වසරේ මුල් භාගයේදී මෙහි ඉදි කිරීම් ඇරඹිණි. බහු කාර්ය සම්ප්‍රේෂණ කුළුණක් වන මෙය ඊට අමතරව සංචාරක ආකර්ශනයක් ලෙසද ක්‍රියා කරයි.

නෙළුම් කුළුන ආදර්ශයක්
මේ කුළුන අරඹමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඉඟි කළේ ඉදිරියේදී රට පුරා, විශේෂයෙන් කොළඹ නගරය පුරා, අවිධිමත් ලෙස ඉදි කර ඇති ගුවන් විදුලි හා රුපවාහිනී කුළුණු ඉවත් කර ඒ සියළු සම්ප්‍රේෂණ කටයුතු මේ කුළුණට ගෙන ඒමට සැලැස්මක් ඇති බවයි. ඒ සැලැස්ම ක්රියාත්ම කිරීමේ ප්‍රථම පියවර ඒ කොමිසම විසින් අද (නොවැම්බර් 1 දින) ගනු ලැබිණි. ඒ අනුව මෙතෙක් විවිධ සංඛ්‍යාත ඔස්සේ රට පුරා සම්ප්‍රේෂණය කෙරුණු බොහෝ FM ගුවන් විදුලි නාලිකා රට පුරා ශ්‍රාවකයින්ට එක සංඛ්‍යාතයක් සුසර කිරීමෙන් පමණක් ශ්‍රවණය කිරීමට හැකි වනු ඇත. ගුවන් විදුලි නාලිකා සංඛ්‍යාත එක මත එක වැටීම හා එකිනෙක කැපී යාම මේ පියවර සමගම වලකින අතර මෙතෙක් භාවිතයට ගත් සංඛ්‍යාත පරාස යම් ප්‍රමාණයක් නිදහස් වීමත් මේ අනුව සිදු වනු ඇත.

එක සංඛ්‍යාතයකින් එක ගුවන් විදුලි නාලිකාවක් පමණක් මුළු රට පුරාම ඇසිය හැකි වීම ගුවන් විදුලියට සවන් දෙමින් දුර ගමන් යන මගීන්ට පහසුවකි.

පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ප්‍රසිද්ධ කළ FM ගුවන් විදුලි නාලිකා වල සංඛ්‍යාත පිළිවෙලයි. මෙම වගුව උපුටා ගැනීම ලංකාදීප අන්තර්ජාල පුවත්පතිනි.

  • ලයිට් එෆ්.එම්: 87.6, 87.8
  • රන් එෆ්.එම්: 88.1
  • ඊ එෆ්.එම්: 88.3
  • සිංහ එෆ්.එම්: 88.6, 88.8
  • ඉසිර එෆ්.එම්: 89.1, 89.3
  • සිටි එෆ්.එම්: 89.6
  • සිටි එෆ්.එම් | ගැමි දිරිය: 89.8
  • පිරෙයි එෆ්.එම් | වයඹ | යාපනය ප්‍රාදේශීය සේවා: 90.1
  • වෙට්රි එෆ්.එම්: 90.4, 90.6
  • ෂා එෆ්.එම්: 90.9, 91.1
  • අලෙයි එෆ්.එම්: 91.4
  • ස්වදේශීය සේවය (සිංහල): 91.7, 91.9
  • දෙරණ එෆ්.එම්: 92.2, 92.4
  • වයි එෆ්.එම්: 92.7
  • ගෝල්ඩ් එෆ්.එම්: 93.0, 93.2
  • ලක්හඬ: 93.5, 93.7
  • වී.අයි.පී. රේඩියෝ: 94.0
  • වෙළඳ සේවය: 94.3, 94.5
  • නෙත් එෆ්.එම්: 94.8, 95
  • මැක්ස් රේඩියෝ: 95.3
  • රිදම් එෆ්.එම්: 95.6, 95.8
  • හිරු එෆ්.එම්: 96.1, 96.3
  • කිරුළ එෆ්.එම්: 96.6
  • කිස් එෆ්.එම්: 96.9
  • රියල් එෆ්.එම්: 97.1
  • ඉංග්‍රීසි සේවය: 97.4
  • ඉංග්‍රීසි | දඹාන | කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි සේවය: 97.16
  • සී.අයි.ආර්. (චීන ගුවන්විදුලිය): 97.9
  • සියත එෆ්.එම්: 98.2, 98.4
  • සන් එෆ්.එම්: 98.7, 98.9
  • ටී එන් එල් රේඩියෝ: 99.2
  • රෙඩ් එෆ්.එම්: 99.5, 99.7
  • ශ්‍රී එෆ්.එම්: 100.0, 100.2
  • රන් එෆ්.එම්: 100.5
  • යර්ස් එෆ්.එම්: 100.8, 101
  • බෞද්ධයා ගුවන් විදුලිය: 101.3, 101.5
  • සෙත් එෆ්.එම් (මීගමුව | ටීඑන්එල් රේඩියෝ): 101.8
  • දෙමළ ස්වදේශීය සේවය: 102.1, 102.3
  • වසන්තම් එෆ්.එම්: 102.6, 102.8
  • ග්ලෝබල් රේඩියෝ: 103.1
  • සූරියන් එෆ්.එම්: 103.4, 103.6
  • ශක්ති එෆ්.එම්: 103.9, 104.1
  • රන්ගිරි ශ්‍රී ලංකා: 104.4
  • ටෙන්ඩරල්: 104.7, 104.9
  • ලක්විරු එෆ්.එම්: 105.2, 105.4
  • රන්ගිරි ශ්‍රී ලංකා: 105.7
  • ලක් එෆ්.එම්: 106, 106.2
  • සිරස එෆ්.එම්: 106.5, 106.7
  • වී එෆ්.එම්: 107
  • රුහුණු | රජරට | කඳුරට | ඌව | විදුල | ක්‍රීඩා සේවය: 107.3
  • රහුණු සේවය | විදුල. ක්‍රීඩා සේවය 107.5
  • දෙමළ සේවය 107.8
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !