Wednesday, September 12, 2012

මමමයි එල්ලුවේ

මේ මානසික රෝහලේ කතාවක්.

වේගෙන් ආපු මානසික රෝහලේ අධ්‍යක්ෂක තුමාගේ කාර් එක බ්‍රාස්ස් ගාල බ්‍රේක් ගහල නතර කළා. අධ්‍යක්ෂක තුමා කාරෙකෙන් බැස්සා නෙමේ පැන්නා. දුවගෙන වගේ ගිය එතුමා වහාම කාර්යාලයට ඇතුල් උනා. රෝහලේ නම් කිසිම කලබලයක ලකුණක් වත් නෑ.

වාට්ටුව බාර දොස්තර මහත්තයත් එක්ක ටික වෙලාවක් කතා කරපු අධ්‍යක්ෂක තුමා එක ලෙඩෙක්ගේ ලිපි ගොනුව ගෙන්වාගෙන කියවන්න පටන් ගත්තා. මද සිනාවක් එක්ක දිග සුසුමක් හෙලපු එතුමා ලිපි ගොනුව අයිති ලෙඩාව එවන්න කියලා පණිවිඩයක් යැව්වා.

ඔන්න ලෙඩා එනවා වීරයා වගේ. වෙනදා රවන දොස්තර මහත්තුරු අද මිනිහත් එක්ක හිනා වෙනවා, ගස්සලා යන නර්ස් නෝනලා හොරැහින් බලං ඉන්නවා. ඇයි මේ ...

අධ්‍යක්ෂක තුමා ලිපි ගොනුවත් අතේ තියාගෙනම 'වාඩි වෙන්න' කියලා අතින් සන් කළා. "මේ ලිපි ගොනුවේ හැටියටත්, මුන්නැහැ අද කරපු වීර ක්‍රියාවේ හැටියටත් බලපුවාම දැන්නම් ගෙදර යවන්න පුළුවන්. ඇත්තටම නාන ටැංකියේ ගිලිලා දිවි නසා ගන්න ගිය සිරිසේන එළියට ඇදලා අරං ජිවිතේ බේරා ගත්ත එකනම් වචනයෙන් කියන්න බැරි තරම් වීර ක්‍රියාවක්" කියලා එතුමා කියනකොට වට වෙලා හිටපු කාර්ය මණ්ඩලේ හැමෝම අත්පොලසන් නාදයක් දුන්නේ පුදුම සන්තෝසෙකින්.

"ඒත්" අධ්‍යක්ෂක තුමා හුස්මක් ගන්න කතාව නතර කළා. "සිරිසේන නම් අවාසනාවන්තයෙක්. මිනිහ දැන් ටිකකට ඉස්සෙල්ලා බෙල්ලේ වැල දාගෙන ලු" කියල එතුමා කතාව අවසන් කළා.

"නැහ්... ඌ බෙල්ලේ වැල දා ගත්තේ නෑ" අපේ වීරයා උත්තර දුන්නේ ආඩම්බරෙන්. "හොඳටම තෙමිලා හිටපු නිසා මමමයි සිරාව වේලෙන්න අව්වෙන් එල්ලුවේ"

No comments: