Saturday, September 29, 2012

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පෝ දා සඳ
බිනර පුර පසළොස්වක දින සිදු වූ ඉතා වැදගත් පුවතක් ශාසන ඉතිහාසයෙන් ඇසේ. ඒ භික්ෂුණි ශාසනය පිහිටුවීමයි. ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වූ ප්‍රථම භික්ෂුණින් වහන්සේ වන්නේ සිද්ධාර්ථ ගෞතමයන්ගේ මව් තනතුරේ සිටි ප්‍රජාපතී ගෞතමියයි.

සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රථම වරට කිඹුල්වතට පැමිණි ගමනේදී සිය මුනුපුරු රාහුල කුමරුද දෙවනුව සිය පුත් නන්ද කුමරුද පැවිදි කළ පසු එතුමියට පැවිදි වීමේ අදහස පහල විය. සුද්ධෝදන ශාක්‍ය රජු සිය අවසන් සයනයේ සැතපී සිටම රහත්ව පිරිනිවන් පෑ පසු එතුමිය සිය අභිප්‍රාය බුදු රදුන්ට දැන්වූ නමුත් ඒ ඇරයුම ප්‍රතික්ෂේප කෙරිණි.

මහා කාරුණිකයන් වහන්සේ ශාක්‍ය කෝලිය යුද්ධය වලකා ලන්නට රෝහිණි නදී තෙරට වැඩි ගමනේදී පැවිදි වූ කුමාර වරුන්ගේ බිරින්දෑ වරුද බුද්ධ මාතා නම් දැරූ මහා ප්‍රජාපති ගෞතමිය වෙත පැමිණ පැවිදි වීමේ අදහස පළ කළෝහ. ප්‍රජාපති ගෞතමිය ඒ දේවීන් ගේ ආයාචනය පිළිගෙන උන් සමගම න්යග්රෝධාරාමයට පැමිණ කාන්තාවන් උදෙසා පැවිදි බව ඉල්ලු නමුත් ඒ ආයාචනය ද නො අනුදැන වදාළ බුදු හිමියෝ කිඹුල්වතින් නික්ම විසාලා මහා නුවරට සැපත් වුහ.

එකල මහා ප්‍රජාපති ගෞතමින් ඒ දේවී වරු පන්සියය සමගම මන්ත්‍රණය කොට තුමූම කෙස් බා අබරණ ඉවත් කොට ගිහි වෙස් හැර මහණ වෙස් ගෙන මහානාම ශාක්‍ය රජ විසින් සැපයූ රථ ප්‍රතික්ෂේප කර පා ගමනින්ම යොදුන් පනසක් දුර ගෙවාගෙන විශාලා මහනුවර කූටාගාර ශාලාවට වෙත පැමිණ විහාරය තුලට නොගොස් දොරටුව අසල කඳුලින් පිරි නෙතින් යුතුව, බුබුළු නැගී පතුලින්, ලේ ගලන පයින් හා කිළිටි වැරහැලි වූ සිවුරෙන් යුතුව උන්හ. අනද මහ තෙරුන් ඒ බව දැනගෙන කම්පා වී උන් පැමිණි අදහස ඉෂ්ඨ කර දීම පිණිස දැඩි අදිටනින් යුතුව බුදු රජාණන් වහන්සේට නොයෙක් අයුරින් කරුණු කියා සිව් වරක් ආයාචනා කර අෂ්ට ගරු ධර්ම සහිත ප්‍රනීත භික්ෂුණි පැවිද්ද ලබා දීමට පුරෝගාමී වූහ. මහා ප්‍රජාපති ගෞතමිය බුද්ධ උපස්ථායක අනද මහ තෙරුන් අතින් අෂ්ඨ ගරු ධර්ම අසා අනුමෝදන් වීම සමගම මෙහෙණ පැවිද්ද හා උපසම්පදාව ඇති විය.

එහි ප්‍රතිපලයක් බුද්ධ ශාසනය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව් වනක් පිරිසෙන් සමලංකෘත විය. ඛේමා, උප්පලවන්නා, භද්දකාත්‍යානා, නන්දා, ධම්මදින්නා ඈ ක්ෂිනාශ්‍රාව ශ්‍රාවිකාවන් ලොවුතුරා විමුක්තිය උදා කර ගනිමින් ලෝ වැඩ සලසන්නේ ඉන් අනතුරුවය. එසේ අප්‍රමාන පරිශ්‍රමයෙන් ඇති කර ගත් භික්ෂුණී උපසම්පදාව මේ වන විට අතුරුදහන් වී ඇති නිසා අද ලංකාවේ කාන්තාවෝ පැවිදි වෙස් දරා දස සිල් මාතාවන් ලෙස හැසිරෙමින් ස්වකිය විමුක්තිය පිණිස අප්‍රමාදව කටයුතු කරති.

සියළු සත්ත්වයෝ නොපමා වෙත්වා !

Sunday, September 23, 2012

ඉවරයි කීවට ඉවරම නෑ - මාමයි බෑනයි 2

ඉවරයි කීවට ඉවරම නෑ. මේ බෑනා එසේ මෙසේ එකෙක් නෙවෙයි වගේ. බුදු අම්මෝ, මූට තියෙන ප්‍රශ්න. මේ ඒ බෑනාගේ ප්‍රශ්න සහ ජොසෙෆ් මාමගේ ඉතිරි උත්තර ටික.

බෑනා: බුදු වෙන්නට කල්ප ලක්ෂයක් පුරුම් පුරා මෙලොවට වැඩි සිද්ධාර්ථ කුමරුන් ගිහි ජීවිතයට පිවිසීම (කසාද බැදීම) මට තේරුම් ගන්න අමාරුයි. මොකද මම අහල තියෙනවා 550 ජාතකය ගැන. එච්චර පෙරුම් පුරපු කෙනෙක් බුදු වෙන්න ඉපදුන ආත්මයේ ඇයි කසාද බැන්දේ? දරුවෙක් හැදුවේ? හරියටම ඒ දරුවා ඉපදුන දවසේ ගිහි ගෙය හැර ගියේ? තමන්ගේ දරුවා ඉපදුන දවසේදී තාත්ත කෙනෙකුට දාල යන්න පුලුවන්ද මම අහල තියෙනවා යනකොට එතුමා කිවුවලු “රාහුලයෙක් ඉපදුනා බැදීමක් ඇති වුනා” කියලලු ගියේ.

මාමා: සිදුහත් කුමරු යශෝදරා ආවාහ කර ගැනීම සහ රාහුල උපත ගැන කියනවනම්...
පළමු දේ තමයි ඔහු රජ කුමරෙක් වීම, ඔහු කුලයට හා සිරිත් විරිත් වලට බැඳි සිටීම, සහ ඔහු තවම බුද්ධත්වය ලබා නෑ යන කරුණු තේරුම් ගැනීම. ඔහුගේ වයස අවුරුදු 16 යි. සිදුහත් කුමරු යශෝදරාව ආවාහ කර ගැනීමේදී බල පාන්නේ ඒ කරුණු මිස පෙර භවයන්හි පිරූ පෙරුම් දම් හෝ 550 ජාතක හෝ නොවේ. ඔහුට පෙර භවයන් දැන ගැනීමේ නුවණක් තවම නැත. ඔහු යශෝදරාව ආවාහ කරගෙන සාමාන්‍ය පවුල් ජිවිතයක් ගෙනියනවා. මෙහි විශේෂත්වයක් නෑ.

සිදුහත් කුමරු වසර 13 ක සාමාන්‍ය පවුල් ජිවිතයක් ගෙනියනවා. එහි හැල හැප්පීම් හෝ නොහොඳ නෝක්කාඩු හෝ තිබුණු බවක් සඳහන් වන්නේ නෑ. මේ අතර තමයි ඔහු සතර පෙර නිමිති දකින්නේ. සතර පෙර නිමිති ඔහුගේ සිත සසල කර අලුතින් සිතීමකට පොළඹවනවා. ඔහු තමන් ගෙවන ජීවිතය මායාවක් බව තේරුම් ගන්නවා. නමුත් ඒ තමන්ගේ පියා විසින් තමාට මවා දුන් මායාවෙන් ඔබ්බට විනිවිද දකිමින් සියලු සත්ත්වයාගේ ජිවිත මායාවක් බව තේරුම් ගැනීම තමයි ඔහුගේ දැක්මේ විශේෂත්වය. ඔහු කලකිරෙන්නේ සිය සුව පහසු ජීවිතය, ආදරණිය බිරිඳ ඉපදීමට සිටින දරුවා හෝ හිමි වීමට නියමිත රාජධානිය වැනි පෞද්ගලික දේ ගැන නොවේ. ඔහු කලකිරෙන්නේ සත්ත්වයාගේ යථා ස්වභාවය ගැනයි. සංසාරය ගැන දැනීමක් තිබු සමාජයක ජිවත් වූ බැවින් සංසාර ගමන ගැන කලකිරීම දක්වා මේ කම්පනය විස්තීරණය කර ගැනීමට ඔහු සමත් වුනා.

මෙන්න මේ අවස්ථාවේ තමයි දරුවා ඉපදුන බවට පණිවිඩය ඔහුට ලැබෙන්නේ. තමන් විඳින ජිවිත/ සංසාර මායාව තුලට ඇතුලත් වන අලුත් සත්ත්වයා ගැන වන අනුකම්පාව මුසු හැඟීම සහ එසේම ඔහුට මේ ඉරණම අත් කර දුන්නේ තමා බවට වන වරදකාරී හැඟීම තමා ඔහු රාහුලෝ ජාතන් බන්ධනං ජාතන් ලෙස පිට කළේ.


බෑනා: යශෝදරා දේවිය සිද්ධාර්ථ කුමාරයාගේ හැම අත්මයකදීම බිරිද කියල මම අහල තියෙනවා ඒ ගැන ලෝකයා දන ගත්තෙත් බුදුන්ගෙන් නේද? තමන්ගේ දරුවා ඉපදුන දවසේදී තාත්ත කෙනෙක් එහෙම දාලා ගියාම එවිට සාමාන්‍ය කාන්තාවක් වුනු යශෝදරා දේවියට එතුමා ගැන තරහක් හිතුනේ නැහැ කියල අපිට හිතන්න බැහැ නේද? ඊට පස්සේ තමන්ගේ ස්වාමියා අතහැර ගිය ගැහැනියක් විදිහට යශෝදරා මොන විදිහට ජීවත් වුනාද අපි දන්නේ නැහැ නේද? සමහර විට රාහුල කුමාරයව බුදුන් ලගට දායාදය ඉල්ලන්න යැවුවේ ඇය තුල තිබුන තරහ නිසා වෙන්න බැරිද?

ඔය ප්‍රශ්න සලකල බලනකොට සිද්ධාර්ථ කුමාරය තමන්ගේ බිරිඳට සහ දරුවට වරදක් කරලා නැහැ කියල කාටවත් කියන්න පුලුවන්ද? ඒ අපවාදයෙන් මිදෙන්න ඔහු බුදු වුනාට පසුව යශෝදරා දේවිය හැම ආත්මයකම භාර්යාව කියල කිවුව වෙන්න බැරිද?

මාමා: සියලු සත්ත්වයා ගේ ජිවිත හා සංසාරය ගැන කලකිරීමෙන් යුත් සිද්ධාර්ථයන් තීරණය කරන්නේ මේ සියල්ලෙන් තමනුත් ගැලවී තම බිරිඳ, අලුත උපන් දරුවා, දෙමාපියන් හා සියලු සත්ත්වයන් ගලවා ගැනීම පිණිසයි. ඒ හැඟීම තමයි අභිනිෂ්ක්රමනයට මග පෙන්වන්නේ. අභිනිෂ්ක්‍රමණය යනු කාලකන්නි මිනිසෙක් සිය දරු පවුල නඩත්තු කිරීමේ වගකීමෙන් මිදීම පිණිස හෝ සල්ලාල කම නිසා දරු පවුල අතර යන කාමතුරයෙකුගේ හෝ සමු ගැනීමක් හෝ නොවේ. සිය දරු පවුලට යහපත් අනාගතයක් උදා කර දීම පිණිස දිවි පරදුවට තබා ඔස්ට්‍රේලියාවට යන බෝට්ටුවකට නගින මිනිසෙකුගේ ක්‍රියාවට නම් මෙය යම් තරමකට සමාන කරන්න පුළුවන්.


බෑනා: ඔය ප්‍රශ්න සලකල බලනකොට සිද්ධාර්ථ කුමාරය තමන්ගේ බිරිඳට සහ දරුවට වරදක් කරලා නැහැ කියල කාටවත් කියන්න පුලුවන්ද? ඒ අපවාදයෙන් මිදෙන්න ඔහු බුදු වුනාට පසුව යශෝදරා දේවිය හැම ආත්මයකම භාර්යාව කියල කිවුව වෙන්න බැරිද?

මාමා: සිද්ධාර්ථ කුමාරය තමන්ගේ බිරිඳටත් දරුවටත් කළේ වැරද්දක් කියල ඕන වසලයෙකුට කියන්න බාධාවක් නෑ. ඒත් තමන් ආත්ම පරිත්‍යාගයෙන් ගිය ගමන සාර්ථක කර ගත්ත ආදරණිය පියෙක් විදියට උන් වහන්සේ ඒ බිරිඳටත් දරුවාටත් තමන් ලැබූ විමුක්තිය ලබා දුන්නා. බෞද්ධ දෘෂ්ඨි කෝණයෙන් වැදගත් වෙන්නේ එයයි. ඒ දරු පවුල අවුරුදු හයක් යම් වියෝ දුක් ගින්දරක් වින්දද, ඒ ගින්දර වෙනුවෙන් ලැබූ ත්‍යාගය අපරිමිතයි, උත්කෘෂ්ඨයි.

යශෝධරාව හැම ආත්ම භාවයකම බිරිඳ උනා කියලා කියපු තැනක් මටනම් දකින්න ලැබිලා නෑ. ඒක බොරුවක්. එහෙම නොවුන අවස්තා 550 ජාතකෙන්ම පෙන්නන්න පුළුවන්. මගෙන්ම අහන්න එපා, මහන්සි වෙලා හොයා ගන්න. මගේ බෑනාටත් වැඩක් ඔන්න.


බෑනා: අවසානයේ බුදු බව ලැබූ බුදු හාමුදුරුවන් හොද සැමියෙක් පියෙක් විදිහට පුරුෂ පක්ෂය පිළිපදින්න ඕන කරනා දේශනා කිරීම කෙතරම් දුරට සාධාරණීකරණය කරන්න පුලුවන්ද?

මාමා: තමන්ගේ බිරිඳට ලබන්න පුළුවන් සියලු ලෞකික සැපම ලබා දුන්න ආදරණිය සැමියෙක් විදියට සිද්ධාර්තයන්ට හැකියාව සහ අයිතිය තියෙනවා ඒ දෙය අනිත් සැමියන්ට කියලා දෙන්න. ඒකට බුදු වෙන්න ඕනේ නෑ.

බුදු බව ලබා ගත්තට පස්සේ තමන් ලබා ගත් ඒ ලොවුතුරා සැපතත් තම බිරිඳට හා දරුවන්ට අයිති කර දුන් උත්තමයා ලෙස උන් වහන්සේ ඒ ගැන යමක් දේශනා කලානම් ඒ සියල්ල ඉතාම සාධාරණයි.


ඔන්න ඔහොමයි ඒ බෑනාගේ ප්‍රශ්න සහ ජොසෙෆ් මාමගේ උත්තර. මේ ප්‍රශ්නෝත්තර ගැන ඔබටත් අදහසක් ඇත්නම් එය ඉදිරිපත් කිරීමට පැකිලෙන්න එපා.

Thursday, September 20, 2012

මාමයි බෑනයි

දේවතාරාධනාව
පහත දෙබස මට ලැබුනේ ජොසේෆ් නම් නොදුටු මිතුරෙකුගෙනි. මෙහි මාමා යනු ඔහුයි. බෑනා ඕනෑම බෑනෙක් විය හැක. නමුත් ඔහු ක්‍රිස්තු භක්තිකයෙක් බව මෙහි ඇසෙන පැන වලින් ඉඟි කෙරෙයි. මෙය සත්ත්‍ය දෙබසක් හෝ මා මිතුරාගේ ප්‍රබන්ධයක්‌ හෝ විය හැකි මුත් එහි සාකච්ඡා කෙරෙන කරුණු වල වැදගත් කම සළකා කිසිවක් වෙනස් නොකර ලැබුණු අයුරින්ම පළ කරමි.

පස් මහා බැලුම් ගැන ලිපියක් ඉදිරියට ලියවෙන්න හොඳටම ඉඩ ඇති නිසා මේ සාකච්චාව ඒ ලිපියට පෙරවදනක් ලෙස ද සළකමි.

බෑනා: ක්‍රිස්තුස් වහන්සේව වැඩි ප්‍රමාණයක් අදහන රටවල් වල මිනිසුන් අද සුකෝපබෝගී ජීවිත ගත කරනවා, ඒ රටවල් ඉතා සන්වර්දිතයි මිනිසුන් ජීවිත විදිනවා ඒ මිනිසුන්ට ක්‍රිස්තුස් වහන්සේගේ පිහිට ආශීර්වාදය ලැබෙනවා නේද?

මාමා: මෙය සංවිධානාත්මක බොරුවකි. ලෝකයේ ක්‍රිස්තුස් අදහන ජනයා 95% කට වඩා සිටින රටවල් සියල්ලම පාහේ දුප්පත්, එක්කෝ අපරාධ පිලිබඳ නම කියවෙන (කොලොම්බියා, මෙක්සිකෝ) එසේ නැතහොත් නම කිසි සේත් නොකියවෙන (රුමේනියා, නිව්ගිනියා, ඉකුවදෝර්) රටවල් වේ. ඉතා සංවර්ධිත යයි ඔබ සිතන රටවල් වලද ක්‍රිස්තුස් අදහන ජනතාව බහුතරය වුවත් ඔබේ තර්කය මේ වන විට බිඳ වැටී අවසන්ය. ඊට අවසන් ඇනය ගැසීම පිණිස ක්‍රිස්තුස් නොඅදහන ජපානය ප්‍රති-උදාහරණයක් ලෙස දක්වමි. නිගමනය නම් ක්‍රිස්තුස් ඇදහීම හා සංවර්ධනය අතර අනුලෝම හෝ ප්‍රතිලෝම සම්බන්දයක් නැත. වෙනත් වචන වලින් කියතොත් ක්‍රිස්තුස් වහන්සේගේ පිහිට කියා සාධාරණ දෙයක් නැත.


බෑනා: බුදු හාමුදුරුවන් දේශනා කරපු ධර්මය අනුව යනවනම් අපේ රටේ මිනිසුන්ටත් ඊට වඩා ලස්සන ජීවිත ගෙවන්න පුළුවන් කම තියෙන්න ඕනේ නේද? ඒ කියන්නේ බුදුන් දේශනා කරපු ධර්මය ක්‍රියාවට නංවන්න තරම් අමාරුද?

මාමා: මෙය මුලාවකි. බුදු දහම ආශාවන් පසු පස නොයාමටයි උගන්වන්නේ. එහෙත් ලංකාවේ දැන් පවතින්නේ එවැනි සමාජයක් නොවේ, ‘ඔබේ හැඟීම් වලට ඉඩ දෙන්න’ යනුවෙන් සඳහන් පුවරු ඔබ දැක ඇතැයි සිතමි. සාමාන්‍ය සත්ත්ව ස්වභාවය ආශාවන් හඹා යාම මිස ඒවා යේ ආදීනව දැක ඉන් මිදීම නොවේ. ඒ නිසා බුදු දහම ක්‍රියාවට නැංවීම නුපුහුණු කෙනෙකුට ඉතා අමාරුය. මෙය අත්දැකීමෙන් කියමි.


බෑනා: ඇයි හැම පන්සලකම දේවාලයක් තියෙන්නේ?

මාමා: දෙවියන්, යකුන් (කතරගම මහසෙන්, මින්නේරි දෙවියන්, කුරුණෑගල ගලේ බණ්ඩාර, බිසෝ බණ්ඩාර, සකල කලා වල්ලභ) ඇදහිල්ල පුරාණ සිංහල සිරිතකි. අප බෞද්ධ වීමේදී මේ ඇදහිලි සම්පුර්ණයෙන් ඇත හැර දමා නැත. එහෙත් සිංහල බුද්ධාගම ඔබට මේ දෙවියන් ඇදහීම අනිවාර්ය නොකරයි. ඔබ කැමතිනම් ඇදහිය හැක නැතිනම් නිකන් සිටිය හැක. මේ දෙවි වරු කලෙක අප මෙන්ම මිනිසුන් ව සිට දිව්‍යාත්ම ලැබූ අයයි. සර්ව බලධාරී හෝ ලෝකය මැවූ අය හෝ නොවේ. ඒ අය ඒ ඒ ආත්ම භාව වලින් චුත ව මිනිස් හෝ වෙනත් ආත්ම භාව ලැබිය හැක.

එසේම හැම පන්සලකම දේවාල ද නැත. එහෙත් බොහෝ පන්සල් වල දේව රූප ඇත. මා ගැන කියතොත්, ක්‍රිස්තියානි දෙවියන් පයිසෙකට මායිම් නොකරන මා අනිත් දෙවි වරුද ගණන් නොගනිමි. එහෙත් දෙවි වරු ඇත/ නැත කියා වාද නොකරමි.


බෑනා: ඇයි බවුද්දයෝ දේවාල වලට ගිහින් හින්දු දෙවි වරුන්ගෙන් පිහිට ඉල්ලන්නේ. ඇයි පල්ලි වලට යන්නේ? බවුද්දයොත් එහෙනම් බුදු දහම අදහන ගමන් පල්ලි දේවාල ගානේ යන්නේ තමන්ට පිහිට ආශීර්වාදය ඉල්ලගන්න නේද? ඉතින් මාමේ මොකක්ද මේ අපි අදහන අගම ගැන වාද කරලා අපිට ලැබෙන දේ?

මාමා: ඒ ලෝභ, ද්වේශ, මෝහ නිසා.

ළමයෝ මතක තියා ගන්න මේ මිනිස්සු රහත් වෙලා නෑ. ඒ කියන්නේ ලෝභ, ද්වේශ, මෝහ ප්‍රහින කරලා නෑ. ඒ නිසයි ඔය හැම දෙයක් ම කරන්නේ. මෙතැනදී බෞද්ධයෝ වැඩි දෙනෙක් අබෞද්ධයින්ගෙන් වෙනස් වෙන්නේ නෑ. වෙනස් ටික දෙනෙක් සඳහා ඔය චෝදනාව වලංගු වෙන්නේ නෑ.

මේවා ගැන වාද කිරීම කෙසේ වෙතත් සාකච්චා කිරීම නම් හොඳ දෙයක්. ‘කාලින ධම්ම සාකච්චා’ කියලනේ බුදු රජාණන් වහන්සේ මංගල සුත්‍රයේදී දේශනා කළේ. සාකච්චාවෙන් නොදත් දේ දැන ගැනීමත්, දන්නා දේ ස්ථිර කර ගැනීමත්, සැක දුරු වීමත් සිදු වෙනවා. ඊට අමතරව අලුත් මිතුරන් අශ්රයත් ඇති වෙනවා.


බෑනා: ඇයි බුදු කෙනෙක් බුදු වෙන්න කලින් පස් මහා බැලුම් බලන්නේ? (උදා: මව, කුලය) රොඩී පැලක මවකගෙන් ඉපදිලා බුදු බව ලැබුනොත් සමාජයේ පිළිගැනීමක් නැති රොඩී මිනිසුන්ටත් පිළිගැනීමක් ඇති වෙනවා නේද? හරියට ක්‍රිස්තුස් වහන්සේ ගව මඩුවක ඉපදුනා වගේ. ඇයි එහෙම කරන්න බැරි?

මාමා: මේක ටිකක් ලොකු ප්‍රශ්නයක්. ඉතාම කෙටියෙන් කිව්වොත්, හැම බුදු කෙනෙක්ම සඳහා සාධාරණ අනිත් අය සඳහා අසාධාරණ ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඉන් එකක් තමයි උසස් ම කුලයේ ඉපදීම. ඉතින් ඒක එහෙම වෙලා ඉවරයි, බෑනටයි මටයි මැරෙනකම් තර්ක කර කර ඉන්න පුළුවන් ඒක හරි/ වැරදි කියලා. ඒත් කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑ. මෛත්‍රී බෝසතුනුත් ඒ වෙනකොට තියෙන උසස්ම කුලේ උපදියි. ක්‍රිස්තුස් ගව මඩුවක ඉපදුනේ ඉතින් දෙවියන් වහන්සේ ගේ කැමැත්ත නිසානේ. අපි මොනවා හිතුවත් වැඩක් නෑ. එයාට ඕනේ දේ එයා කරන්නේ. ක්‍රිස්තුස් විතරක් නොවේ මුහමඩ් පවා පහතම කුලෙක නේද ඉපදිලා තියෙන්නේ. ඒවා ඔක්කොම ඉතින් දේව මර්සිය තමා !


බෑනා: ඇයි මෙතෙක් බිහිවුන හැම බුදුවරයෙකුම ඉන්දියාවේ විතරක් ඉපදුනේ?

මාමා: බුදු වරු ඉන්දියාවේ විතක් උපදිනවා කියල නියමයක් නෑ, දඹදිව මිස. ඉන්දියාව හා දඹදිව එකිනෙක තුල්‍ය නොවේ.

ඔන්න ඔහොමයි මාමගෙයි බෑනාගෙයි සාකච්චාව ඉවර උනේ. ඊට පස්සේ ඒ දෙන්නා බොහොම සතුටින් සමගියෙන් ඉන්න ඇති.

Wednesday, September 12, 2012

මමමයි එල්ලුවේ

මේ මානසික රෝහලේ කතාවක්.

වේගෙන් ආපු මානසික රෝහලේ අධ්‍යක්ෂක තුමාගේ කාර් එක බ්‍රාස්ස් ගාල බ්‍රේක් ගහල නතර කළා. අධ්‍යක්ෂක තුමා කාරෙකෙන් බැස්සා නෙමේ පැන්නා. දුවගෙන වගේ ගිය එතුමා වහාම කාර්යාලයට ඇතුල් උනා. රෝහලේ නම් කිසිම කලබලයක ලකුණක් වත් නෑ.

වාට්ටුව බාර දොස්තර මහත්තයත් එක්ක ටික වෙලාවක් කතා කරපු අධ්‍යක්ෂක තුමා එක ලෙඩෙක්ගේ ලිපි ගොනුව ගෙන්වාගෙන කියවන්න පටන් ගත්තා. මද සිනාවක් එක්ක දිග සුසුමක් හෙලපු එතුමා ලිපි ගොනුව අයිති ලෙඩාව එවන්න කියලා පණිවිඩයක් යැව්වා.

ඔන්න ලෙඩා එනවා වීරයා වගේ. වෙනදා රවන දොස්තර මහත්තුරු අද මිනිහත් එක්ක හිනා වෙනවා, ගස්සලා යන නර්ස් නෝනලා හොරැහින් බලං ඉන්නවා. ඇයි මේ ...

අධ්‍යක්ෂක තුමා ලිපි ගොනුවත් අතේ තියාගෙනම 'වාඩි වෙන්න' කියලා අතින් සන් කළා. "මේ ලිපි ගොනුවේ හැටියටත්, මුන්නැහැ අද කරපු වීර ක්‍රියාවේ හැටියටත් බලපුවාම දැන්නම් ගෙදර යවන්න පුළුවන්. ඇත්තටම නාන ටැංකියේ ගිලිලා දිවි නසා ගන්න ගිය සිරිසේන එළියට ඇදලා අරං ජිවිතේ බේරා ගත්ත එකනම් වචනයෙන් කියන්න බැරි තරම් වීර ක්‍රියාවක්" කියලා එතුමා කියනකොට වට වෙලා හිටපු කාර්ය මණ්ඩලේ හැමෝම අත්පොලසන් නාදයක් දුන්නේ පුදුම සන්තෝසෙකින්.

"ඒත්" අධ්‍යක්ෂක තුමා හුස්මක් ගන්න කතාව නතර කළා. "සිරිසේන නම් අවාසනාවන්තයෙක්. මිනිහ දැන් ටිකකට ඉස්සෙල්ලා බෙල්ලේ වැල දාගෙන ලු" කියල එතුමා කතාව අවසන් කළා.

"නැහ්... ඌ බෙල්ලේ වැල දා ගත්තේ නෑ" අපේ වීරයා උත්තර දුන්නේ ආඩම්බරෙන්. "හොඳටම තෙමිලා හිටපු නිසා මමමයි සිරාව වේලෙන්න අව්වෙන් එල්ලුවේ"