Friday, August 31, 2012

අධි බිනර පුර පසළොස්වක පෝය

අධි බිනර යනු පෝය ලිතට කෘතීමව ඔබ්බන ලද පෝයකි. පුර හඳ පෑයීම හැරුණු කොට මේ පෝය දිනේ සිදු වූ වැදගත් දෙයක් ගැන විශේෂ සඳහනක් නැත. එසේ වතුදු දිවයින පුරා උවැසි උවැසියෝ වෙනත් පෝ දිනක හා වෙනසක් නොකර පින් දහම් හි නියැලෙති.

පොහොය දින නිර්ණය කෙරෙන්නේ චන්ද්‍ර මාස ක්‍රමය අනුසාරයෙනි. ශුද්ධ චන්ද්‍ර මාස ක්‍රමය පමණක් භාවිතා විනිනම් මෙවැනි 'අධි' පෝයක් තිබිමට ඉඩක් ද නැත. එහෙත් චන්ද්‍ර මාස ක්‍රමය පමණක් භාවිතා වන්නේ සංකීර්ණ ශිෂ්ඨාචාර ගොඩ නොනැගූ යන්තම් ගල් ලෙනෙන් එළියට බට නොදියුණු ගෝත්‍රිකයින් අතර පමණි. පුරාණ සිංහලයෝ හා භාරතීයයෝ චන්ද්‍ර මාස ක්‍රමය හා සමගම සුර්යය මාස ක්‍රමයද නිවැරදිව භාවිතා කෙරිණි.

චන්ද්‍ර මාස ක්‍රමය හා සුර්යය මාස ක්‍රමය

චන්ද්‍රයාගේ සොළොස් කලාව ගැන අප අසා ඇත. සඳ නොපෙනෙන එක් දිනකි; පුර්ණ චන්ද්‍රයා පෙනෙන එක් දිනකි. ඒ දින දෙක අතරතුර කලා දහ හතරකි. සොළොස් කලාව යනු මෙයයි. නැවතද පුර්ණ චන්ද්‍රයා පෙනෙන දින සිට නොපෙනෙන දින දක්වා කලා දහ හතරකි. මෙය කලා චක්‍රය වේ. චන්ද්‍රයා ආසන්න වශයෙන් දින විසි නවයක් හා අඩකින් ස්වකිය කලා චක්‍රය සම්පුර්ණ කරයි. එය චන්ද්‍ර මාසයකි. එවැනි මාස දොළොසක් වසරකි. ඒ අනුව වසරකට දින 354 ඇත.

එහෙත් සුර්යයා රාශි චක්‍රය හරහා ස්වකිය ගමන සම්පුර්ණ කිරීමට දින 365 කට මදක් වැඩි කාලයක් ගනී. රාශි චක්‍රයේ රාශි දොළොසකි. එක් එක් රාශිය පසුබිම් කොටගෙන සුර්යයා පිහිටන විට ඒ ඒ රාශියේ නමින් මාසය (රවිය) නම් කෙරේ. මීන රවිය අවසන් වන විට වසර අවසන් වී මේෂ රවියෙන් ඊළඟ වසර එළඹේ. මේ සිංහල අවුරුද්දයි.

සුර්යය මාස ක්‍රමය අනුව ගත්තද චන්ද්‍ර මාස ක්‍රමය අනුව ගත්ත ද මාස දොළොසක් වසරකි. එහෙත් මාසයකට අයත් වන දින ගණන හා වසරකට ගැනෙන දින ගණන එකිනෙක වෙනස් වේ.


චන්ද්‍ර මාස ක්‍රමය හා සුර්යය මාස ක්‍රමය සංයුක්ත කර ගැනීම

පහසුවෙන් අඩු දින ගණනක් ගණනයට චන්ද්‍රයාගේ කලා නිරීක්ෂණය යෝග්‍ය වේ. මෙය භාවිතා කිරීමට වැඩි උගත් කමක් අවශ්‍ය නොවේ. නමුත් පෘතුවියේ සෘතු විපර්යාස සිදු වන්නේ චන්ද්‍රයාගේ කලාව මත නොවේ. ඒ නිසා දියුණු ගොවිතැනක් භාවිතා කළ සෑම දියුණු ශිෂ්ඨාචාරයකම පාහේ සුර්යය මාස ක්‍රමය භාවිතා විණ. නයිල්, ඉන්දු, ගංගා, මල්වතු ඔය ආදී ගංගා පිටාර ගැලීම, මෝසම් වැස්ස ලැබීම ආදී ස්වභාවික ක්‍රියාවලි සුර්ය වර්ෂය හා සමපාත විය. මේ නිසා වාර්ෂිකව කෙරෙන කාර්යයන්ට සුර්යය මාස ක්‍රමය වඩාත් උචිත බව තේරුම් ගත් අපේ පැරැන්නන් විසින් මේ විකෘතිය හෙවත් අධි මාසය චන්ද්‍ර මාස ක්‍රමයට එක් කරන ලද්දේ චන්ද්‍ර මාස හා සුර්යය මාස ක්‍රමයට ගණන් කළත් වර්ෂය දළ වශයෙන් සමපාත කර තබා ගැනීමටය. රෝමන් වරුන් තමන්ගේ පෙබරවාරි මාසයට සිව් වසරකට වරක් එක් දිනයක් එකතු කිරීම ද මීට සමාන අවස්ථාවකි.

සුර්යය වර්ෂයට සාපේක්ෂව චන්ද්‍ර වසරකට දින 10 ක අඩුවක් පවතින නිසා වසර තුනක් ගිය තැන මාසයක අඩුවක් ඇති වේ. එය පිරවීමට වසර තුනකට පසු එළඹෙන වසර මාස 13 ක වසරක් ලෙස සළකා වැඩිපුර එකතු කෙරුණු මාසය 'අධි' යන විශේෂණය සහිතව හඳුන්වනු ලැබේ. මේ සන්නිකර්ෂණය හේතුවෙන් වසර තුනකට වරක් සුර්යය වර්ෂය හා චන්ද්‍ර වර්ෂය එකිනෙක ගලපාලීම සිදු විය.


අධි මාසයේ බෞද්ධ බලපෑම

බුද්ධ කාලින දඹදිව ජනපද අතර ද මේ ගණනය කිරීම මෙසේම තිබුන මුත් එම 'අධි' මාසය එක් කරන්නේ කුමන මාස දෙකක් අතරට ද යන්න ගැන එකඟතාවක් ඔවුන් එකිනෙකා අතර නොතිබුන බව පෙනේ.

ඒ හේතුවෙන් සමහර ජනපදයෙක භික්ෂුන් එක් පෝය දිනකද තවත් ජනපදයක භික්ෂුන් ඊළඟ පෝය දිනයේද ලෙස වස් වැසීමට පටන් ගත්හ. එසේම වස් සමය තුලට අධි මාසය එළඹුන විට භික්ෂුන් වැඩිපුර මාසයක් වස් විසීම ද සිදු විය. මේ වියවුල නැති කිරීම පිණිස බිම්බිසාර රජුගේ ආරාධනයෙන් බුදු රජාණන් වහන්සේ එවැනි වසරක වස් විසීම ආරම්භ කරන ආකාරය ගැන වෙනම පැහැදිලි කර ශික්ෂා පනවා වදාළහ. ඒ අනුව අධි මාසයක් වස් කාලය තුල යෙදෙන මේ වසරේ භික්ෂුන් වහන්සේලා පෙරවස් සමාදන් වන්නේ ඇසළ නොව නිකිණි අව පෑළවිය (පසළොස්වක දිනට පසු දින) දාය. පසුවස් සමාදන් වීම අධි බිනර අව පෑළවිය දිනය දක්වා කල් යයි. වස් පවාරණය සහ කථින පිංකම් නියමිත පරිදි සාර මසක් ඇවෑමෙන් කෙරේ.

ලංකාවේ අප පෝය දින ගණනය කිරීමට භාවිතා කරන්නේ චන්ද්‍ර වර්ෂයයි. ශ්‍රී බුද්ධ වර්ෂ ලෙස වසර දක්වා දිනය ලියන විට භාවිතා කරන්නේ චන්ද්‍ර වර්ෂය ක්‍රමයයි. සිංහල අවුරුද්ද ගණනය කරන්නේ සුර්යය වර්ෂ ක්‍රමය අනුසාරයෙනි. සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම යනු මීන රවිය (මාසය) අවසන් වි මේෂ රවිය (මාසය) ඇරඹුමයි. අප සිංහල අවුරුද්ද ලෙස සමරන්නේ මේෂ රවියේ (මාසයේ) ඇරඹුමයි. ඉංගිරිසි (රෝමන්) අවුරුද්ද ජනේරුවෙන් ඇරඹෙන්නා මෙනි.

අද ලංකාවේ රාජ්‍ය කටයුතු සඳහා භාවිතා වන්නේ රෝමන් වරුන් විසින් සෑදූ දින දර්ශනයයි. ඒ වෙනුවට සිංහල දින දසුන භාවිතා නොකිරීම ඉතා සංකීර්ණ ගණනය කිරීම් සහිත පරිපූර්ණ දින දසුනක් නිර්මාණය කළ පුරාණ සිංහල ආදී මුතුන් මිත්තන්ට කරන අගෞරවයකි.

No comments: