Friday, August 31, 2012

අධි බිනර පුර පසළොස්වක පෝය

අධි බිනර යනු පෝය ලිතට කෘතීමව ඔබ්බන ලද පෝයකි. පුර හඳ පෑයීම හැරුණු කොට මේ පෝය දිනේ සිදු වූ වැදගත් දෙයක් ගැන විශේෂ සඳහනක් නැත. එසේ වතුදු දිවයින පුරා උවැසි උවැසියෝ වෙනත් පෝ දිනක හා වෙනසක් නොකර පින් දහම් හි නියැලෙති.

පොහොය දින නිර්ණය කෙරෙන්නේ චන්ද්‍ර මාස ක්‍රමය අනුසාරයෙනි. ශුද්ධ චන්ද්‍ර මාස ක්‍රමය පමණක් භාවිතා විනිනම් මෙවැනි 'අධි' පෝයක් තිබිමට ඉඩක් ද නැත. එහෙත් චන්ද්‍ර මාස ක්‍රමය පමණක් භාවිතා වන්නේ සංකීර්ණ ශිෂ්ඨාචාර ගොඩ නොනැගූ යන්තම් ගල් ලෙනෙන් එළියට බට නොදියුණු ගෝත්‍රිකයින් අතර පමණි. පුරාණ සිංහලයෝ හා භාරතීයයෝ චන්ද්‍ර මාස ක්‍රමය හා සමගම සුර්යය මාස ක්‍රමයද නිවැරදිව භාවිතා කෙරිණි.

චන්ද්‍ර මාස ක්‍රමය හා සුර්යය මාස ක්‍රමය

චන්ද්‍රයාගේ සොළොස් කලාව ගැන අප අසා ඇත. සඳ නොපෙනෙන එක් දිනකි; පුර්ණ චන්ද්‍රයා පෙනෙන එක් දිනකි. ඒ දින දෙක අතරතුර කලා දහ හතරකි. සොළොස් කලාව යනු මෙයයි. නැවතද පුර්ණ චන්ද්‍රයා පෙනෙන දින සිට නොපෙනෙන දින දක්වා කලා දහ හතරකි. මෙය කලා චක්‍රය වේ. චන්ද්‍රයා ආසන්න වශයෙන් දින විසි නවයක් හා අඩකින් ස්වකිය කලා චක්‍රය සම්පුර්ණ කරයි. එය චන්ද්‍ර මාසයකි. එවැනි මාස දොළොසක් වසරකි. ඒ අනුව වසරකට දින 354 ඇත.

එහෙත් සුර්යයා රාශි චක්‍රය හරහා ස්වකිය ගමන සම්පුර්ණ කිරීමට දින 365 කට මදක් වැඩි කාලයක් ගනී. රාශි චක්‍රයේ රාශි දොළොසකි. එක් එක් රාශිය පසුබිම් කොටගෙන සුර්යයා පිහිටන විට ඒ ඒ රාශියේ නමින් මාසය (රවිය) නම් කෙරේ. මීන රවිය අවසන් වන විට වසර අවසන් වී මේෂ රවියෙන් ඊළඟ වසර එළඹේ. මේ සිංහල අවුරුද්දයි.

සුර්යය මාස ක්‍රමය අනුව ගත්තද චන්ද්‍ර මාස ක්‍රමය අනුව ගත්ත ද මාස දොළොසක් වසරකි. එහෙත් මාසයකට අයත් වන දින ගණන හා වසරකට ගැනෙන දින ගණන එකිනෙක වෙනස් වේ.


චන්ද්‍ර මාස ක්‍රමය හා සුර්යය මාස ක්‍රමය සංයුක්ත කර ගැනීම

පහසුවෙන් අඩු දින ගණනක් ගණනයට චන්ද්‍රයාගේ කලා නිරීක්ෂණය යෝග්‍ය වේ. මෙය භාවිතා කිරීමට වැඩි උගත් කමක් අවශ්‍ය නොවේ. නමුත් පෘතුවියේ සෘතු විපර්යාස සිදු වන්නේ චන්ද්‍රයාගේ කලාව මත නොවේ. ඒ නිසා දියුණු ගොවිතැනක් භාවිතා කළ සෑම දියුණු ශිෂ්ඨාචාරයකම පාහේ සුර්යය මාස ක්‍රමය භාවිතා විණ. නයිල්, ඉන්දු, ගංගා, මල්වතු ඔය ආදී ගංගා පිටාර ගැලීම, මෝසම් වැස්ස ලැබීම ආදී ස්වභාවික ක්‍රියාවලි සුර්ය වර්ෂය හා සමපාත විය. මේ නිසා වාර්ෂිකව කෙරෙන කාර්යයන්ට සුර්යය මාස ක්‍රමය වඩාත් උචිත බව තේරුම් ගත් අපේ පැරැන්නන් විසින් මේ විකෘතිය හෙවත් අධි මාසය චන්ද්‍ර මාස ක්‍රමයට එක් කරන ලද්දේ චන්ද්‍ර මාස හා සුර්යය මාස ක්‍රමයට ගණන් කළත් වර්ෂය දළ වශයෙන් සමපාත කර තබා ගැනීමටය. රෝමන් වරුන් තමන්ගේ පෙබරවාරි මාසයට සිව් වසරකට වරක් එක් දිනයක් එකතු කිරීම ද මීට සමාන අවස්ථාවකි.

සුර්යය වර්ෂයට සාපේක්ෂව චන්ද්‍ර වසරකට දින 10 ක අඩුවක් පවතින නිසා වසර තුනක් ගිය තැන මාසයක අඩුවක් ඇති වේ. එය පිරවීමට වසර තුනකට පසු එළඹෙන වසර මාස 13 ක වසරක් ලෙස සළකා වැඩිපුර එකතු කෙරුණු මාසය 'අධි' යන විශේෂණය සහිතව හඳුන්වනු ලැබේ. මේ සන්නිකර්ෂණය හේතුවෙන් වසර තුනකට වරක් සුර්යය වර්ෂය හා චන්ද්‍ර වර්ෂය එකිනෙක ගලපාලීම සිදු විය.


අධි මාසයේ බෞද්ධ බලපෑම

බුද්ධ කාලින දඹදිව ජනපද අතර ද මේ ගණනය කිරීම මෙසේම තිබුන මුත් එම 'අධි' මාසය එක් කරන්නේ කුමන මාස දෙකක් අතරට ද යන්න ගැන එකඟතාවක් ඔවුන් එකිනෙකා අතර නොතිබුන බව පෙනේ.

ඒ හේතුවෙන් සමහර ජනපදයෙක භික්ෂුන් එක් පෝය දිනකද තවත් ජනපදයක භික්ෂුන් ඊළඟ පෝය දිනයේද ලෙස වස් වැසීමට පටන් ගත්හ. එසේම වස් සමය තුලට අධි මාසය එළඹුන විට භික්ෂුන් වැඩිපුර මාසයක් වස් විසීම ද සිදු විය. මේ වියවුල නැති කිරීම පිණිස බිම්බිසාර රජුගේ ආරාධනයෙන් බුදු රජාණන් වහන්සේ එවැනි වසරක වස් විසීම ආරම්භ කරන ආකාරය ගැන වෙනම පැහැදිලි කර ශික්ෂා පනවා වදාළහ. ඒ අනුව අධි මාසයක් වස් කාලය තුල යෙදෙන මේ වසරේ භික්ෂුන් වහන්සේලා පෙරවස් සමාදන් වන්නේ ඇසළ නොව නිකිණි අව පෑළවිය (පසළොස්වක දිනට පසු දින) දාය. පසුවස් සමාදන් වීම අධි බිනර අව පෑළවිය දිනය දක්වා කල් යයි. වස් පවාරණය සහ කථින පිංකම් නියමිත පරිදි සාර මසක් ඇවෑමෙන් කෙරේ.

ලංකාවේ අප පෝය දින ගණනය කිරීමට භාවිතා කරන්නේ චන්ද්‍ර වර්ෂයයි. ශ්‍රී බුද්ධ වර්ෂ ලෙස වසර දක්වා දිනය ලියන විට භාවිතා කරන්නේ චන්ද්‍ර වර්ෂය ක්‍රමයයි. සිංහල අවුරුද්ද ගණනය කරන්නේ සුර්යය වර්ෂ ක්‍රමය අනුසාරයෙනි. සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම යනු මීන රවිය (මාසය) අවසන් වි මේෂ රවිය (මාසය) ඇරඹුමයි. අප සිංහල අවුරුද්ද ලෙස සමරන්නේ මේෂ රවියේ (මාසයේ) ඇරඹුමයි. ඉංගිරිසි (රෝමන්) අවුරුද්ද ජනේරුවෙන් ඇරඹෙන්නා මෙනි.

අද ලංකාවේ රාජ්‍ය කටයුතු සඳහා භාවිතා වන්නේ රෝමන් වරුන් විසින් සෑදූ දින දර්ශනයයි. ඒ වෙනුවට සිංහල දින දසුන භාවිතා නොකිරීම ඉතා සංකීර්ණ ගණනය කිරීම් සහිත පරිපූර්ණ දින දසුනක් නිර්මාණය කළ පුරාණ සිංහල ආදී මුතුන් මිත්තන්ට කරන අගෞරවයකි.

Friday, August 24, 2012

බිත්තරේ පරිස්සම් කිරීම

පන්තියේ හැමෝම වට වෙලා එක පාර අත් විස්සක් විතර දාගෙන එකෙක්ගේ බත් එක කන එක මම හිතන්නේ දැන් ජාතික පුරුද්දක්. මේ කියන්නේ මිට අවුරුදු පහළොවකට විස්සකට විතර උඩදී ඇත්තටම උනු සිද්ධියක්. ඒ කාලේ දැන් තරම් ළමයි නරක නෑ (හූ හූ හූ !!!), හැමෝම හැමෝගෙම බත් එක කන්න පොර කන්නේ නෑ.
ආයෙත් එළියට ගත්තා බාගයක් ...
ඔන්න අපේ පන්තියේ හිටියා හැමදාම බත් එකට බිත්තරයක් ගේන සිසුවෙක්. බත් එක ලිහපු සැනින් බිත්තරේ අතුරුදහන් වෙන නිසා මිනිහා හොයා ගත්ත මේකට යස උපක්‍රමයක්. ඔන්න බත් මුල ලිහපු ගමන් බිත්තරේ අරං එක පාරටම කටේ දා ගන්නවා. කෙල බෝල බෝල එක්ක එළියට අරං බත් එකෙන් තියනවා. උපක්‍රමේ කොච්චර සාර්ථකද කියනවානම් බත් එකට එන අත් ගාන එක දවසින් බාගෙට බැස්සා. අයියෝ ඒ එන ඉතුරු උනුත් උන් බිත්තරේ තියා ඒ පැත්ත පලාතටවත් යන්නේ නෑ.

හැම දේකටම අවසානයක් තියෙන්න එපැයි. මෙන්න මෙහෙමයි ඒක උනේ.

අපේ වීරයා පුරුදු විදියටම බිත්තරේ බත් එකෙන් තියනකොටම අපේ පන්තියට ආවා එහා පන්තියේ බඩගිනි කාරයෙක්. උන් විවේක කාලේ එන්න කළින් උන්ගේ පන්තියේ කෑම ඔක්කොම ඉවර කරලා. අත දාපු ගමන් ගත්තා බිත්තරේ; දා ගත්තා කටේ; ආයෙත් එළියට ගත්තා බාගයක්; තිබ්බා බත් එකෙන්.

අරුන් ඔක්කොම කටවල් ඇරං බලං ඉන්නවා... ඒත් කතාව එච්චරයි !

Wednesday, August 15, 2012

මගී ප්‍රවාහනයට නව තාක්ෂනය - ii

මෙය පසුගිය ලිපිය හා බැඳෙයි. ඒ ලිපියෙන් අප NFC කියවන යන්ත්‍ර හා NFC හැකියාව සහිත මගී කාඩ් පත් සැපයුම් කරුවන් ගැන සාකච්චා කළෙමු. මේ ලිපියෙන් අප කතා කරන්නේ පසුබිමේ සිටිමින් සේවා සපයන අනෙක් ආයතන ගැනයි.


පෙරගෙවුම් බෙදා හැරීම සහ අළෙවිය

කාඩ් පත තිබුනත් එහි මුදල් නැත්නම් මෙම ක්‍රියාවලිය සම්පුර්ණ නොවේ. ඒ නිසා මගීන්ගෙන් පෙර ගෙවුම් ලබා ගැනීම හා ඒවා කාඩ් පතට එක් කිරීම වෙනම ආයතනයක් විසින් කළ යුතු වේ. මෙය සිදු වන්නේ දිවයින පුරා බෙදාහරින්නන් ජාලයක් සහිත ආයතනයක් මගිනි. ඒ ඒ නියෝජිතයා විසින් බැංකු තැන්පතුවක් තබා තමන් සතු යන්ත්‍රයට ඒ වටිනාකම ඇතුල් කර ගනී. දැන් ඒ මුදලට සමාන වටිනාකමක් මගීන් වෙත අළෙවි කිරීමට ඒ නියෝජිතයාට හැකිය. මගියා අදාළ මුදල ගෙවා ස්වකිය කාඩ් පතට ඒ වටිනාකම ඇතුලත් කර ගත යුතුය.

වාණිජ බැංකු

පෙරගෙවුම් බෙදා හරින නියෝජිතයන් විසින් තැන්පත් කෙරෙන මුදල් බාර ගැනීම බැංකුව සතු කාර්ය භාරයයි. දිනකට රුපියල් කෝටි ගණනක් හුවමාරු වන ජාතික ප්‍රවාහන සේවයේ සියලු මුදල් කළමනාකරණ මේ අනුව බැංකුවේ වගකීමක් බවට පත් වේ. බස් රථ හිමිකරුවන් විසින් දිනපතා එවන ටිකට් පත් වල ගිණුම් විස්තර පිරික්සා අදාළ මුදල් ඒ ඒ බස් රථ හිමිකරුගේ ගිණුමට බැර කිරීමෙන් බැංකුවේ කාර්යභාරය නිමා වේ.

අන්තර්ජාල පහසුකම් සැපයුම්කරු

මුල් ලිපියේ සඳහන් කළ අයුරින් බස් හිමිකරු විසින් දිනපතා ස්වකිය ටිකට් පත් යන්ත්‍රය විසින් කාඩ්පත් හිමි මගීන්ට නිකුත් කළ ටිකට් පත් පිලිබඳ විස්තර බැංකුව වෙත යැවිය යුතු වේ. එය කෙරෙන්නේ GPRS තාක්ෂනය භාවිතා කිරීමෙනි. ටිකට් පත් යන්ත්‍රයේ මිට අදාළ දත්ත පැකට් යැවිය හැකි SIM පතක් අඩංගු වන අතර එය භාවිතයෙන් මේ දත්ත ආරක්‍ෂිත පරිගණක මෘදුකාංග පද්ධතියකට යැවේ.

මෘදුකාංග සැපයුම්කරු

මෘදුකාංග පද්ධතිය කොටස් දෙකකින් සමන්විතය. එකක් බස් රථ හිමියන්ගේ විස්තර, ටිකට් යන්ත්‍ර වල විස්තර, බස් ගාස්තු වගු ආදිය ගබඩා කර ගනී. GPRS තාක්ෂනය හරහා ඊට සම්බන්ද වන යන්ත්‍ර සුදුසු පරිදි යාවත්කාලින කිරීම හා ඒවායේ ගමන් සටහන් ලබා ගැනීම ඒවා පිරික්සා බැංකු පරිගණක පද්ධතිය සමග හුවමාරු කිරීම ආදිය මීට අයත්ය. අනෙක් කොටස NFC කාඩ් පත් වල ජීවචක්‍රය කළමනාකරණ හා සම්බන්දය. මෙම කොටස අතිශයින් රහසිගත හා සුරක්ෂිත පරිගණක මෘදුකාංග පද්ධතියක් වන්නේ කාඩ් පත් භාවිතයෙන් විය හැකි අතපසු වීම් හා වංචාවන් වලක්වා ගැනීම පිණිසය.

නෛතික අංශය

ලංකාවේ බස් රථ සඳහා ටිකට් පත් නිකුත් කිරීම නීතියෙන් අනිවාර්යය. නමුත් මේ නව තාක්ෂණයට සම්බන්ධ නීති රීති ඇති විය යුතුව තිබේ. බස් රථ සඳහා මේ අය ක්‍රමය බලාත්මක කළ යුතුව පවතී. එසේම මෙවැනි තාක්ෂණ සඳහා SLS ප්‍රමිතියක් සකස් කළ යුතුය. එක් එක් සේවා සැපයුම් කරු නීතිමය වශයෙන් වගකීමට බඳවා තබා ගැනීමත් ඔවුන් විසින් සැපිරිය යුතු අත්‍යාවශ්‍ය කොන්දේසි නිර්ණය කිරීමත්, පොදු භාවිතයේදී සිදු විය හැකි වාණිජ හානි සඳහා රක්ෂණ ක්‍රමයක් (දැනට මෙවැනි ක්‍රමයක් ණය කාඩ් පත් සඳහා පවතී) ඇතුලත් කර ගැනීමත් අවශ්‍යය.


දැනට මේ කටයුත්ත ගැන උනන්දුවෙන් කටයුතු කරන්නේ සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයයි. ඒ සංගමයට අනුව ලංකාවේ බස් හිමියන්ට හිමි විය යුතු ආදායමෙන් 20% පමණ කොටසක් විවිධ වංචනික ක්‍රියා නිසා අහිමි වෙමින් තිබේ. මේ මුදල් කප්පම් කාරයන්, පොලී කාරයන් හා බස් සේවකයන් විසින් වංචාවෙන් හා බලහත්කාරයෙන් ලබා ගනී. බස් රථ තුලින් මුදල් හුවමාරුව අහෝසි කළ හැකිනම් ඒ මුදල කෙලින්ම හිමි කරු වෙත ලබා ගත හැකි බවත් ඒ වාසිය මගී ජනතාව වෙත ලබා දිය හැකි බවත් සංගමයේ අදහසයි.

එසේම බස් කොන්දොස්තර මහතුන් විසින් මාරු කාසි හිඟය හේතුවක් කර ගනිමින් මගී ජනතාවගෙන් ගසා කන නීත්‍යානුකුල නොවන අදායම එක් කොන්දොස්තර මහතෙකුට දිනකට රුපියල් දහස් ගණනකැයි කියනු ලැබේ. මේ මුදල බස් රථ හිමියාට ද නොලැබේ. බස් සේවක මහතුන්ද නීත්‍යානුකුල නොවන මේ මුදල් යොදවන්නේ සිය පවුලේ සුභ සිද්ධියට වඩා සුරාව, සුදුව, මත්ද්‍රව්‍ය හා වෙනත් අපචාර සඳහාය. යෝජිත ක්‍රමය මගීන් මේ ප්‍රශ්නය 100% ම විසඳේ.

ලංකාවේ මගී ප්‍රවාහනය විධිමත් නැත. මේ ක්ෂේත්‍රය ක්‍රමානුකුලව විගණනය නොකෙරේ. රජය විසින් ලබා දෙන ඉන්ධන හෝ වෙනත් සහනාධාරයක් වුවත් ලබා ගැනීමට මේ අවිධිමත් බව බාධාවකි. යෝජිත ගාස්තු අය ක්‍රමයේ අනිවාර්ය අතුරුඵලයක් ලෙස බස් සේවයට මේ විධිමත් බව ලැබෙනු ඇත. අනෙක් අතින් මේ සංසරණය වන මුදල් නිවැරදිව විගණනය වී නීත්‍යානුකුල බදු මුදල් ලෙස කොටසක් රජයට අය කර ගැනීමේ හැකියාව පවතී. ඒ නිසා ජනතා හිතවාදී රජයක් මෙවැනි දේ ගැන මීට වඩා සැළකිලිමත් විය යුතුය, මීට වඩා සහයෝගය දිය යුතුය.

බස් හිමියන් සමගම බස් රථ සේවක මහතුන් ද ලියාපදිංචි කෙරේ නම් ඔවුන් සඳහාද බැංකු ගිණුම් ආරම්භ කර ඔවුන් ද මේ පද්ධතියට ඇතුලත් කර ගනී නම් ඒ මහතුන්ගේ ප්‍රශ්න වන සේවක අර්ථසාධක හා භාර අරමුදල් ගෙවීම්, නියමිත පරිදි වැටුප් හා සුදුසු පරිදි දිරි දීමනා ගෙවීම්, පවුලේ අය සඳහා වට්ටම් වැනි ආකර්ශනීය සේවාවන් රැසක් මෙමගින් ලබා දිය හැක.

එසේම පුජ්‍ය පක්ෂය, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, පාසැල් සිසුන්, අබාධිත රණ විරුවන් ආදී විශේෂිත පුරවැසියන් සඳහා විශේෂ කාඩ් පත් හඳුන්වා දිය හැක.


තාක්ෂනය වඩ වඩාත් දියුණු වන විට NFC සහිත ජංගම දුරකථන මේ සඳහා යොදා ගත හැකි වනු ඇත. අනාගතයේ දී ජංගම දුරකථනය භාවිතයෙන් SMS යැවීමෙන් හෝ ණයකාඩ් පතින් ස්වයන්ක්රියවම හෝ අගය එකතු කර ගත හැකි වනු ඇත. ඒ කිසිවක්ම සිදු නොවුනත් මගී ප්‍රවාහනය සඳහා නව තාක්ෂනය භාවිතා කිරීම රටේ දියුණුවේ නව මං සලකුණක් වනු ඇත.

Monday, August 13, 2012

මගී ප්‍රවාහනයට නව තාක්ෂනය

ගිය සතියේ ගුවන් විදුලි පුවත් වල කියැවුණ එක වැදගත් පුවතක් ගැන මගේ අවධානය යොමු විය. ඉන් කියවුනේ බස්රථ සඳහා පෙර ගෙවුම් සේවාව ලබා දීමට කැමති තාක්ෂණික සේවා සපයන ආයතන විසින් තම උනන්දුව රජය වෙත දක්වන "අභිමත ප්‍රකාශ" ඉදිරිපත් කරන ලෙසයි. එක් එක් ආයතන තනි තනිව නොව එකට එක් වී සංයුක්ත ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බව ඉන් වැඩි දුරටත් කියැවිණි. පෙර ගෙවුම් ක්‍රමය පිළිබඳව මා කලින් ලිපියකද (ඉතුරු සල්ලි කෝ) පැහැදිලි කිරීමක් කළ නිසාත් පාඨක මිත්‍රයෙක් ඒ ගැන වැඩි විස්තර ලියන ලෙස ඉල්ලු නිසාත් මේ එයට සුදුසු අවස්ථාව බව සිතේ.
බස් රථ සඳහා පෙර ගෙවුම් සේවාව ලබා දීමට ආයතන කිහිපයක සේවා සැපයීම අත්‍යාවශ්‍යය. එක් ආයතනයක් අනෙකට වඩා වැදගත්යැයි කිව නොහැකි පරිදි මේ එක එක ආයතනය විසින් සැපයෙන සේවා අවියෝජනීය ලෙස එකිනෙක හා බැඳී පවතී. එක සේවාවක් බිඳ වැටුණු වහාම සම්පුර්ණ සේවාවම බිඳ වැටේ. විස්තර කිරීමේ පහසුව තකා ටිකට් පත් නිකුත් කරන යන්ත්‍රයෙන් පටන් ගනිමු.

ටිකට් පත් යන්ත්‍ර

අප දන්නා පරිදි මේ වන විට ලංකාවේ බස් රථ සඳහා ටිකට් පත් යන්ත්‍ර අලෙවි කර සේවා සපයන ප්‍රධාන ආයතන දෙකක් පවතී. ඒ දෙකම සපයන ටිකට් යන්ත්‍ර එකලාව ක්‍රියා කරන, එනම් බාහිර උපකරණ හෝ පද්ධති සමග හෝ කිසියම් අන්තර්ක්රියාවක්, තොරතුරු හුවමාරුවක් කර නොගන්නා යන්ත්‍ර වේ. මේවා බාහිරින් ලබා ගන්නා එකම ආදානය කොන්දොස්තර මහතා විසින් යතුරු පුවරුව හරහා ලබා දෙන ගමනාන්තය හා ටිකට් පත් ගණන පමණි. බස් ගාස්තු සංශෝධනයක් වූ විට මේ යන්ත්‍ර සැපයුම්කරු වෙත ගෙන යාමෙන් තොරව යාවත්කාලින කර ගත නොහැක. නමුත් යෝජිත ටිකට් පත් නිකුත් කරන යන්ත්‍රය පැති දෙකකින් පද්ධති දෙකක් සමග ගනුදෙනු කළ යුතුය.

  1. මගියා සතු පෙර ගෙවුම් මගී කාඩ් පත සමග තොරතුරු හුවමාරුව සඳහා NFC තාක්ෂනය.
  2. සහායක මෘදුකාංග පද්ධතිය සමග තොරතුරු හුවමාරුව සඳහා GPRS තාක්ෂනය.
නව ක්‍රමය යටතේ මේ යන්ත්‍ර NFC තාක්ෂනය සහිත කියවන යන්ත්‍ර මගින් ප්‍රතිස්ථාපනය කළ යුතු වේ. NFC තාක්ෂණයට අමතරව මේ යන්ත්‍ර තුල SIM පතක් සඳහා හා සමහර විට MicroSD පතක් වැනි දත්ත රඳවනයක් සඳහාද ඉඩ හසර තිබිය යුතු වේ. මේ යන්ත්‍ර වල හැඩය, ප්‍රමාණය, බැටරි ආයු කාලය, යතුරු පුවරුවේ යතුරු ගණන හා යතුරු පිහිටුම හා වෙනත් අමතර විශේෂාංග ඒ ඒ යන්ත්‍ර නිෂ්පාදකයා හා මොඩලය අනුව වෙනස් විය හැක. දැනට පෙනී යන ලෙස පෙර කී ආයතන දෙක NFC තාක්ෂනය සහිත ටිකට් යන්ත්‍ර ලංකා වෙළෙඳපොළට හඳුන්වා දිය යුතුය. නැතහොත් ඒ ආයතන වෙනුවට වෙනත් ආයතනයක් ඒ තැන ගත යුතුය.

මෙහිදී සඳහන් කළ යුතු අමතර කරුණක් ඇත. යෝජිත පෙර ගෙවුම් කාඩ් පත් ක්‍රමයේදී දැන් ජංගම දුරකථන වලට පෙර ගෙවුම් වටිනාකම ඇතුලත් කරන සේ වටිනාකම එක කළ හැකි උපකරණයක් මගියා සතුව නැත (NFC තාක්ෂනය සහිත ජංගම දුරකථන තවම සාමාන්‍යකරණය වී නැත). ඒ නිසා පෙරගෙවුම් නියෝජිතයින් විසින්ද මේ යන්ත්‍ර භාවිතා කළ යුතුව පවතී. ලංකාවේ බස් රථ 20000 පමණ (ලංගම සමග) ඇති නිසා අලෙවි කළ හැකි ටිකට් පත් යන්ත්‍ර ගණන එපමණ වුවත් පෙර ගෙවුම් නියෝජිතයන් වෙත අලෙවි කළ හැකි යන්ත්‍ර ප්‍රමාණය විශාලය.

පෙර ගෙවුම් මගී කාඩ් පත

NFC තාක්ෂනය සහිත පෙර ගෙවුම් කාඩ් පත් සැපයීම තවත් ආයතනයක් විසින් කළ යුතුය. මෙය මයික්‍රෝ චිපයක් අඩංගු සැවොම දන්නා හඳුනන ණය කාඩ් පතක් වැනි එම ප්‍රමාණයේම කාඩ් පතකි. එහි බස්/ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර වල ලෙස මගියා හඳුනා ගන්නා සළකුණු අඩංගු නොවේ. ඒ නිසා මෙය අන්සතු කළ හැක. අප දුටු කාඩ් පතේ හිමිකරුගේ නම මුද්‍රණය කර නොතිබුණ මුත් අවශ්‍යනම් නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ හිමිකරුගේ ජායාරුපය වැනි හඳුනා ගැනීමේ සලකුණු මුද්‍රණය කිරීම තාක්ෂණික වශයෙන් කළ නොහැකි දෙයක් නොවේ. ඒ නිසා මෙය සොරා ගනී යැයි බිය විය යුතු නැත (මිනිස් ඇසට දැකිය හැකි ලෙස කාඩ් පත මත මුද්‍රණය කිරීමත් කාඩ් කියවනය විසින් කියවිය හැකි සේ චිපය තුල දත්තයක් ලෙස ගබඩා කිරීමත් තාක්ෂණික වශයෙන් වෙනස් ක්‍රියාවලි දෙකකි).

කාඩ් පත් කියවනය විසින් කියැවිය යුතු කාඩ් පත හඳුනා ගැනීමේ විස්තර, එහි අවසන් ගනුදෙනු කිහිපය පිළිබඳ තොරතුරු හා කාඩ් පතේ වර්තමාන වටිනාකම ආදිය කාඩ් පතේ චිපය තුල රඳවා තබා ගැනේ.

ටිකට් පතක් මිලදී ගත් විට ඊට අදාළ ගාස්තුව කාඩ් පතින් අඩු වන අතර එම වටිනාකම ටිකට් යන්ත්‍රය තුල ගබඩා වේ. සිය කාඩ් පතේ ඇති මුදල මගියාට කියවා ගැනීමට ක්‍රමයක් නැති වුවත් ටිකට් පත මුද්‍රණය වන අවස්ථාවේදී කාඩ් පතේ වර්තමාන වටිනාකම බස් ටිකට් පතේ මුද්‍රණය වී පැමිණෙන ලෙස පහසුකම් සලසා තිබීම මගියාට පහසුවකි.

මේ කාඩ් පත් ලංකාවට ගෙන්වීම, බෙදාහැරීම හා ඒවායේ ජීවචක්ර කළමනාකරණය තවත් ආයතනයක් සතු වගකීමකි.

මගී කාඩ්පත් වල පෙර ගෙවුම් බාර ගැනීම, මෙහෙයුම්, බැංකු කටයුතු හා නීතිමය පැත්ත

මේ ගැන ඊළඟ ලිපියෙන් සාකච්චා කරමු...

Tuesday, August 7, 2012

ඉංජිනේරු ශිෂ්‍යයෝ


මොරටු සරසවියේ ශිෂ්‍යයෝ තිදෙනෙක් බර සාකච්චාවක. සාකච්චාවේ මාතෘකාව මිනිස් සිරුර බුද්ධිමත් නිර්මාණයක් නම් ඒ බුද්ධිමතා කොයි වගේ විශේෂඥයෙක්ද.

එකෙක් කියනවා "මිනිස් සිරුර මචං අනිවාර්යෙන්ම මිකැනිකල් පොරක් ගේ වැඩක්. බලපන් මේකේ තියෙන සරල යන්ත්‍ර. ලීවර, කප්පි, අක්ෂ දණ්ඩ මේවා තමයි හැම තැනම පාවිච්චි කරලා තියෙන්නේ".

"වෙන්න බෑ මචං, අපේ ස්නායු පද්ධතිය, මොලය ගත්තහම මේවා සංකීර්ණ විද්‍යුත් පරිපථ. මේ වගේ දෙයක් හදන්න අනිවාර්යයෙන්ම ක්ලාස් ගහපු ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ" දෙවනියා එකඟ නෑ. ඉතින් මුන් දෙන්නා වාදේ.

තුන් වෙනියාට මේවා අහං ඉඳලා එපාම වෙලා. බලන් ඉඳලා ඉඳලා බැරිම තැන ඌත් වාදේ මැදට පැන්නලු:

"කවුරුත් නෙමේ මචං, මේක හදලා තියෙන්නේ මෙහෙන්ම පාස් අවුට් වුන ආකිටෙක් කෙනෙක්. නැත්නම් වෙන මොකාද බං පුනර්ජනන ඒකකය ඇතුලෙන් විෂඅපවහන නලේ දාන්නේ"


Wednesday, August 1, 2012

නිකිණි පුර පසළොස්වක හෙවත් දර මිටි පෝය


ඇසල පුන් පෝ දිනට පසුව එළඹෙන පුන් පෝ දිනය නිකිණි පෝ දිනයයි. ඒ නිසා සාම්ප්‍රදායිකව ඇසල පෝ දිනයේ පෙරවස් විසීමට නොහැකි වූ භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙතොත් ඔහු මේ පොහෝ දිනයේ වස් අධිෂ්ඨාන කර පසුවස් සමාදන් විය යුතුයි. වස් විසු භික්ෂුන් වහන්සේ නමක් විහාර සිමාවෙන් පිටත යාම ඇවතක් වුවත් අවශ්‍යතාවයක් ඇති විට සත් දිනක් දක්වා පිටත වැඩිය හැකි වන ලෙස බුදු රජාණන් වහන්සේ විසින් සත්තාහකරණය අනුදැන වදාළේ ද නිකිණි පෝය දිනකයි.

පසුවස් විසීම හැරුණු කොට ඉතා වැදගත් සිද්ධි මේ පෝ දිනයේ සිදු වී ඇත. ස්මෘති ශක්තිය ඇත්තවුන් කෙරෙන් අග්‍ර, ධර්ම භාණ්ඩාගාරික ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ අප්‍රමාන වීර්යයෙන් කෙලෙසුන් නසා සිව් පිලිසිඹියා පත් රහත් භාවයට පැමිණ වදාළේ නිකිණි පුර පසළොස්වක දිනෙක අලුයම් කාලයේදීයි. මගධ රාජ අජාතශ්ත්රයන්ගේ පුර්ණ අනුග්‍රහය හා රාජ සේනාවේ ආරක්ෂාව සහිතව රජගහ නුවර වේහාර පර්වත ප්‍රාන්තයේ සප්තපර්නි ගල් ගුහා ද්වාරය අසල ඉදි වුන මණ්ඩපයක සිව් පිලිසිඹියා පත් මහා රහතන් වහන්සේලා පන්සීය නමකගේ සහභාගිත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව ඇරඹුණේ නිකිණි අවපෑළවියදාය (පසළොස්වක දිනට පසු දින). රහතුන් වහන්සේලා එකුන් පන්සීය නමක් අසුන් ගත් පසු පන්සියය සම්පුර්ණ කරමින් ආනන්ද මාහිමියන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වමින් තමන් වහන්සේට වෙන් කළ අසුන මත ප්‍රාදුර්භූත වූ බව ශාශන ඉතිහාසයේ දැක්වේ. (ප්‍රථම සංගීතිය නිකිණි අවදියවක්දා ආරම්භ කොට සත් මසකින් නිම කරන ලද බව සමහර ග්‍රන්ථ වල සඳහන්ය. එසේනම් ආනන්ද තෙරුන් වහන්සේ අරහත් භාවයට පත් වූයේ නිකිණි පුර පසළොස්වක දින නොව නිකිණි අවපෑළවියදා විය යුතුය.)

මෙම පොහොය දරමිටි පොහොය ලෙස හැඳින්වීමට හේතුව රජරට වල් බිහි වූ සමයේ ධනයෙන් බලයෙන් පිරිහුණු නමුත් ශ්‍රද්ධාවෙන් නොපිරිහුණු සිංහල ගැමි ජනතාව තමන් දිවි දෙවෙනි කොට ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැක ගත් යුගයට දිවේ. වනයෙන් වැසුණු බෝධීන් වහන්සේ සහිත උඩ මලුව වට කොට පහත ගිනි මැල දල්වාගෙන වන සතුන් පලවා හරිමින් නිදි වර්ජිතව ඒ ජනතාව ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සැලකූ ඒ ඇසතු රුක පර සතුරන්ගෙන් රැක ගත්හ. දරමිටි පෙරහැර අදද පැවැත්වේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැර මංගල්‍යය ඇසළ පුන් පෝ දිනත් නිකිණි පුන් පෝ දිනත් අතර මාසය තුල පවත්වනු ලැබේ. මේ හැරුණු කොට සේරුවිල මංගල මහා විහාරයේ වාර්ෂික මහා පිංකම පවත්වන්නේ නිකිණි මාසයේය. කතරගම දේවාලයේ පෙරහැර, සීනිගම දෙවොල් දේවාලයේ ඇසළ මංගල්‍යය හා හලාවත මුන්නේස්වරම් දේවාලයේ පෙරහැර පවත්වන්නේ මේ සමයේය.
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !