Monday, July 16, 2012

ආප්ප දන්සැල හෙවත් ලේනුන්ගේ ආප්ප පාටිය

අනාරාධනයෙන් ආ අමුත්තා
අප ජිවත් වන නිවස ඉඩ පහසුකම සහිත ගෙවත්තක් සහිතය. එහි ලේන්නු සහ ගෙවතු ආශ්‍රිත කුරුල්ලෝ බෙහෙවින් ගැවසෙත්. ගෙවත්තේ කෙළවරක පුවක් ගසක් හා මහෝගනී ගසක් උදව් කරගෙන තැනු අට්ටාලයකි. එහි එකී සතුන්ගේ ආහාරය පිණිස බත්, ඉඳි ආප්ප, ආප්ප, පිට්ටු ආදී දෑ දිනපතා උදෑසන තැබීම සිරිතකි. මද්‍යහනය පසු වූ විට ඉවත් කෙරෙන බුද්ධ පුජාව ද එහිම තැබෙන්නේ උන්ගේ ආහාරය පිණිසය. ඒ හේතුවෙන් මෙකී සත්තු දිනය පුරා අප ගෙවත්තේ දැක ගැනීමට ලැබෙති.

අපේ දන්සැලෙන් දිනපතා කෑම ලබන්නෝ ලේන්නු, දෙමලිච්චෝ හා මයිනෝය. ඊට අමතරව සමහර විටෙක පිලිහුඩුවෙක්, කොහෙක්, කෑරලෙක්, කොන්ඩ කුරුල්ලෙක්, හෝ කලාතුරෙකින් කපුටෙක් දැක ගත හැක. ගිරවු ද මෙහි එනු අප කිහිප විටක් දැක ඇත. උහු අටල්ලට නැග හෝ අසල ඇති බිත්තිය මත ලැග හෝ පහසුවෙන් ලත් අහර වළඳති.

දිනය ඉරිදාය. උදේ ආහාරය පිණිස සැකසූ ආප්ප වලින් දෙකක් රාත්‍රී ආහාරයෙන් ඉතිරි කෙරුණු බත් කොටසත් සමග උන්ට දීමි. අටල්ල මත අහර වැඩි වූ විට උන් බිම හලා දමන බැවින් ආප්පයක් බැම්ම මත තැබීමි. අප දහවල් අහරට සැරසෙන විට පෙර නුදුටු අමුත්තෙක් බැම්ම මත ලැග ආප්ප වළදනු ජනේලයෙන් පෙනේ.
මූ කපුටෙක් තරම් විශාලය. බඩපත සුදට හුරුය, අත්තටු දුඹුරු පැහැතිය, හිස ලා පාටය, දෑස් රතුය, හොට තියුණුය. මූ කිසි සේත්ම ආප්ප කෑමට පැමිණි එකෙක් විය නොහැක.

ජනෙල් රෙද්ද මෑත් කර බැලීමි. කුරුළුගොයෙකි. මුන් අහසේ ඉගිලෙනු මිස වසා සිටිනු මින් පෙර දැක නැත. අඩි 15, 20 පමණ නුදුරින් කිසි දිනෙක දැක නැත. බැම්මට තද කර පයින් පාගාගෙන සිටින්නේ ආප්පයක් නොවේ. ආප්ප කෑමට පැමිණි ලේනෙකි. අහෝ ඌ ඒ වන විටත් ජීවිතය හැර ගොස්ය. ලේනුන්ගේ ආප්ප පාටිය කඩාකප්පල් කළ කුරුළුගොයා නිසොල්මනේ ඉඳ ලේනා බරු ගසයි. එක ලේනෙක් පමණක් අතු පතර අතර සිට හුදෙකලා විරෝධතාවයක යෙදේ. ටිං ටිං ටිං ටිං ...

කුමක් කරම්ද, අප ලේනාට ආප්ප දුන් බව සැබැයි, කුරුළුගොයා ඒ උදව්වෙන් ලේනා දඩයම් කර ගත් බවත් සැබැයි. අප ලේනා දඩයම් කර දුන්නා නොවේ. දැන් ලේනාට ජීවිතය දිය නොහැක. කුරුලුගොයා මහන්සියෙන් ලබා ගත් අහර ඌට අහිමි කිරීමත් පලක් නැත.

කුරුළුගොයාගේ ස්වෛරී භාවයට හානි නොකර ජනේලයෙන්ම උගේ ජායාරුප කිහිපයක් ගතිමි ... ජංගම දුරකථනයට කැමරාවක් එක් කිරීමට සිත් පහල වූ ඒ විශිෂ්ඨ නිපැයුම් කරුවාට පිං දුනිමි ... අනේ ඔහු නොසිටියානම් !

2 comments:

  1. මිතුර, ඔබට සුබ පතමි. මතක ලෙස අප අතර අන්තිම email හුවමාරුව වුයේ 2008 දී විය යුතුයි. ඔබ blog එකක් පටන් ගත් නිසා ඒ හරහා හැඳුනුම් කම් අලුත් කර ගනිමු. ඔබම ඔබට කම්මැලියෙක් කියා නොගන්න. ඔබ වෙලාව රැගෙන හරි හැටි නොහඳුනනා මට ලිව් පිළිතුරු ලිපි බොහෝ කරුණු ගැන එකල මගේ දැනුම පුළුල් කළේය.

    මා ඔබේ අගය කරන ගුණාංගයක් වන්නේ වෙනස් කෝණයකින් දැකීමේ හැකියාවයි. ඕනෑම කෙනෙක් සංවේගය දනවන පුවතක් ලෙස විස්තර කිරීමට කැමති ලේනාගේ මරණය ඔබ දැක ඇති කෝණය ඊට උදාහරණයකි. දිනපතා කෑමට පැමිණි පවුලේ සමීප සත්ත්වයකු වූ ඌ කුරුල්ලෙකුගේ ගොදුරක් වූ විට ඔබ ලියන්නේ "ලේනුන්ගේ ආප්ප පාටිය කඩාකප්පල් කළ කුරුළුගොයා නිසොල්මනේ ඉඳ ලේනා බරු ගසයි." කියාය. හරි ජොලි !!!

    ඔබ ඔය සිද්ධියම සංසාරය-කර්මය ආදිය යොදාගෙන විස්තර කරන ලිපියක් කියවීමට කැමැත්තක් ඇත. අපේ පැරණි සාකච්චා වලට ප්‍රස්තුත වූයේ ඒවා නිසා හැකිනම් එවැනි විග්‍රහයක් පළ කරන්න. ඔබට එය කළ හැකි බව මම දනිමි.

    ඔබට මේ ආරම්භ කෙරුණු blog එක සාර්ථකව කරගෙන යාමට හැකියාව ලැබේවායි පතමි. මමත් හැකි ලෙස කොමෙන්ට් දමමි.

    ඔබට තෙරුවන් සරණයි !

    ReplyDelete
    Replies
    1. බලමු, මේක පොරොන්දුවක් නෙමෙයි. මොනවා උනත් මගේ බ්ලොගය බලලා කොමෙන්ට් දැම්මට පිං. දැන් දෙන්නෙක් කොමෙන්ට් දාලනේ. මට දෙගුණයක් සතුටුයි.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !