Sunday, July 29, 2012

ඉතුරු සල්ලි කෝ

බස් රථයක ගමන් කර නැති කෙනෙක් මේ බ්ලොගය බලන කිහිප දෙනා අතර සිටිය නොහැකිවා සේම නියමිත ගමන් ගාස්තුව ගෙවූ පසු නිවැරදි පරිදි ඉතිරි මුදල නොලැබීම නිසා සිත් තැවුලට පත් වීමද එතරම්ම පොදු අත්දැකීමක් විය යුතුය. මේ කතාව ඒ ගැටළුව නුදුරු අනාගතයේදීම අවසන් වන බවට දිස් වන පෙරමග සලකුණු ගැනයි.

පසුගිය මාසයේ දිනෙක නාරාහේන්පිටදී පැවති පුවත් සාකච්චාවකදී සමස්ථ ලංකා බස් හිමියන්ගේ සම්මේලනයේ සභාපති වරයා විසින් වීඩියෝ පටිගත කිරීමක් ප්‍රදර්ශනය කරන්නට යෙදිණි. තරමක පරිශ්‍රමයකින් පසු එහි වීඩියෝව සොයා ගත හැකි විය. මෙය දැමූ පින්වතාට සෙතක් ම වේවා!




ඊට අනුව මේ යෝජිත නව ක්‍රමයෙන් කෙරෙන්නේ බස් රථ මගීන් සඳහා පෙරගෙවුම් කාඩ් පතක් හඳුන්වා දීමයි. බස් රථ සඳහා මුදල් භාවිතයෙන් සම්පුර්ණයෙන් වෙන් වීම මේ සැලැස්මේ දීර්ඝ කාලින ඉලක්කයයි. මෙහි ක්‍රියාකාරිත්වය පෙර ගෙවුම් දුරකථන සම්බන්ධතාවයකට බොහෝ අතින් සමානය.

දුරකථන සම්බන්ධතාවයක සේම මෙහිද පළමු පියවර වන්නේ මගියා විසින් මෙම කාඩ් පතක් මිලදී ගැනීමයි. සමහර විට මෙම මූලික කාඩ් පත් නොමිලේ නිකුත් කෙරෙනු ඇත. මෙය චිපයක් අඩංගු (ණය කාඩ් පතක් වැනි) ආරක්‍ෂිත කාඩ් පතකි.

දෙවන පියවර මෙම කාඩ් පත් වලට මුදල් ගෙවා අගය එකතු කර ගැනීමයි. මේ සඳහා පෙර ගෙවුම් කවුන්ටර දිවයින පුරා පිහිටවනු ඇත. මේ සඳහා බස් නැවතුම්පොළවල් අසල පිහිටි ඇමතුම් මධ්‍යස්ථාන සහ වෙළෙඳ සල්, සුපිරි වෙළෙඳ හල් හා සමහර විට ණය කාඩ් පත් ද උපයෝගී වනු ඇත. ඒ ක්‍රමය බස් කොන්දොස්තර මහතා ලවාද ක්‍රියාත්මක කර ගැනීමට තාක්ෂණික ගැටළුවක් නැතත් බොහෝ විට එය සිදු නොවනු ඇත්තේ මුලින් කී පරිදි මෙය හඳුන්වා දීමේ මූලික අභිප්‍රාය බස් රථය තුලින් මුදල් හුවමාරුව ඉවත් කිරීම වන නිසාය.

ඔබ සතුව කාඩ් පතක් ඇත්නම්, එහි අවශ්‍ය ප්‍රමාණයට මුදල්ද ඇත්නම් ඔබට දැන් බස් රථයට ගොඩ වී ඔබේ ගමන යා හැක. ටිකට් පත නිකුත් කිරීම පිණිස ඔබ හමුවට පැමිණෙන කොන්දොස්තර මහතාට ඔබේ ගමනාන්තය දැනුම් දී ඔබ සතු කාඩ් පත ටිකට් යන්ත්‍රයට මුහුණ පෑම (මුහුණත ස්පර්ශ කිරීම හෝ ඉතා සමීපයට ලං කිරීම හෝ) පමණක් සෑහේ. ගමනට අදාළ ගාස්තුව ඔබේ කාඩ් පතින් අඩු කර ටිකට් පතක් නිකුත් කෙරෙනු ඇත. මෙම තාක්ෂනය NFC (Near Field Communication) ලෙස හැඳින්වේ. බොහෝ රටවල මෙය දැනටමත් භාවිතා කෙරේ.

ඔබ සතු කාඩ් පතේ ප්‍රමාණවත් මුදලක් නැත්නම් හෝ ඔබට මෙවැනි පෙරගෙවුම් කාඩ් පතක් නොමැතිනම් හෝ මුදල් ගෙවා කාඩ් පතක් ලබා ගැනීමේ හැකියාව පවතී.

ගමනාන්තයේදී බසයෙන් බසින ඔබ ටිකට් පත රැගෙන "හිත සතුටින්" හා "සැහැල්ලුවෙන්" ගෙදර යනු ඇත.

එහෙත්, සුපුරුදු ලෙස සාක්කුවට බැසීමට බලා සිටින පොඩි උන් ...

"තාත්තේ, ඉතුරු සල්ලි කෝ ???"

Monday, July 23, 2012

ඇලඩින් ගේ පුදුම පහන කොල්ලුපිටියේ

මේක ඇලඩින්ගේ පුදුම පහන ගැන කතාවක්. ඇලඩින් මලානේ, ඉතිං මිනිහා මළාට පස්සේ මිනිහගේ අර ලාම්පුව ගැන ආරංචියක් නැති උනා... ඒ ගොඩක් ඉස්සර!

මේ කියන්න යන්නේ අළුත් කතාව.

මේ කතාවට පාත්‍ර වර්ගයා වෙන්නේ Software Engineer කෙනෙක්, Designer කෙනෙක් සහ Manager කෙනෙක්. මේ තුන් දෙනා වැඩ කරන කන්තෝරුව තියෙන්නේ කොල්ලුපිටියේ. ඉතිං ඔතන වැඩ කරනවානම් උදේ 8:30 වෙනකොට එන්න ඕනේ, හවස 7:00 වෙනකම් වැඩ කරන්න ඕනේ. විනාඩි 5 වත් එහා මෙහා බෑ. දවල්ට කෑම පැය... කෑම පැය කියන්නේ කෑම පැය, විනාඩි 30 නෙමෙයි, හරියටම පැයක්. හ්ම්ම්... තව මොනවද... ආ දවසකට තේ දෙකක්!! දෙකක් කියන්නේ තුනක් එහෙම නෙමේ හොඳේ.

කෑම පැය කියන්නේ හරියටම පැයක් කියලා මම කලින් කිව්වනේ, ඉතිං අර කියපු උන් තුන් දෙනා එතන යාළුවො වගේ නිසා කෑමට යන්නේ එකටමයි. පැය බාගයක් යද්දී කාල ඉවර වෙලා රේල් පාර පැනලා වෙරළට යනවා. ගිහිං අර පැය ඉවර වෙනකං මුහුදේ රැළි ගනිනවා, අහසේ වලාකුළු ගනිනවා, රේල් පාරේ කෝච්චි ගනිනවා, කෝච්චියේ පෙට්ටි ගනිනවා, ... ඔහොම තමයි පැය ගෙවන්නේ.

The Three Musketeers
ඔන්න එදත් පුරුදු විදියට මුන් තුන් දෙනා මුහුද අයිනට වෙලා පුරුදු විදියට මව් බිමෙන් පස් කැට, ගල් කැට වරකට එක බැගින් මුහුදට බිලි දෙමින් ඉන්නවාලු. ඔන්න එතකොට තමයි එකෙක් අර කියපු ලාම්පුව දැක්කේ (දැන් කොයි ලාම්පුවද කියන්න එපා. ඒ තමයි ඇලඩින්ගේ ලාම්පුව). මේකේ පාසි බැඳිලා, මුහුද අයිනේ ගලක් යට තියෙනවා දැක්ක එකෙක් මේක එලියට ඇදලා ගත්තලු. ඕක ටිකක් පිරිමදිනකොට සුදු දුමක් දාගෙන ආවලු ... කවුද... පහනේ භූතයා.

භූතයා කියනවලු "හඃ හඃ හඃ ... මම තමයි පහනේ භූතයා; ඔයාලට මම වර තුනක් දෙනවා... කවුද ඉස්සෙල්ලා ඉල්ලන්නේ".

Engineer හිත හොඳ එකා. ඌ කිව්වලු "අවුලක් නෑ මචං, උඹලා ඉස්සෙල්ලා ඉල්ලපන්"; ඒත් අනිත් උන් දෙන්නා ඒකට කැමති නෑලු. ඉතිං පොර කල්පනා කරලා කරලා ඉල්ලුවලු "මට එහෙනම් මිලේනියම් සිටි එකෙන් ගෙයක් දෙන්න, සල්ලි ගැන වද වෙන්නේ නැතුව හොඳ බිරිඳක් එක්ක, ජිවිත කාලෙම සතුටෙන් ඉන්න තමයි මම කැමති. වාහනෙකුත් තිබුනොත් තවත් හොඳයි !" කියලා.

කියන පමාවෙන් ඌ එතනින් අතුරුදහන් උනාලු.

ඊළඟට Designer ගේ වාරේ. ඌත් බැඳලා නෑ. ඌ කිව්වලු "ජිවිත කාලෙම ආතල් එකේ රස්සාව කරගෙන ඉන්න පුළුවන්, වැඩ අඩු, පූල් ටේබල් එකක් තියෙන කන්තෝරුවක රස්සාවකුත් තිබුනානම් මරේ මරු. හැබැයි ඕස්ට්‍රේලියාවෙන්, ලංකාවෙනම් වැඩක් නෑ!!".

ටක් ගානකොට ඌත් එතනින් අතුරුදහන්.

අන්තිමට දැන් Manager ගේ වාරේ. භූතයා නිකං කින්ඩි හිනාවක්‌ දාල අහනවලු, "ලොක්කා, යාලුවෝ දෙන්නානම් ගියා, ඔබ තුමාට හඳට යන්නද කැමති, නැත්නම් හවායි, බැංකොක්, පැරිස්...කොහේ යන්නද කැමති".

මේ වෙනකොට පුපුර පුපුර හිටපු මැනේජරයා ගත් කටටම කියපි...

"කෑම පැය නම් කෑම පැය, කොහේ ගියත් අරුන් දෙන්නා මේ පැය ඉවර වෙනකොට කන්තෝරුවේ ඉන්න ඕනේ !!!"

Monday, July 16, 2012

ආප්ප දන්සැල හෙවත් ලේනුන්ගේ ආප්ප පාටිය

අනාරාධනයෙන් ආ අමුත්තා
අප ජිවත් වන නිවස ඉඩ පහසුකම සහිත ගෙවත්තක් සහිතය. එහි ලේන්නු සහ ගෙවතු ආශ්‍රිත කුරුල්ලෝ බෙහෙවින් ගැවසෙත්. ගෙවත්තේ කෙළවරක පුවක් ගසක් හා මහෝගනී ගසක් උදව් කරගෙන තැනු අට්ටාලයකි. එහි එකී සතුන්ගේ ආහාරය පිණිස බත්, ඉඳි ආප්ප, ආප්ප, පිට්ටු ආදී දෑ දිනපතා උදෑසන තැබීම සිරිතකි. මද්‍යහනය පසු වූ විට ඉවත් කෙරෙන බුද්ධ පුජාව ද එහිම තැබෙන්නේ උන්ගේ ආහාරය පිණිසය. ඒ හේතුවෙන් මෙකී සත්තු දිනය පුරා අප ගෙවත්තේ දැක ගැනීමට ලැබෙති.

අපේ දන්සැලෙන් දිනපතා කෑම ලබන්නෝ ලේන්නු, දෙමලිච්චෝ හා මයිනෝය. ඊට අමතරව සමහර විටෙක පිලිහුඩුවෙක්, කොහෙක්, කෑරලෙක්, කොන්ඩ කුරුල්ලෙක්, හෝ කලාතුරෙකින් කපුටෙක් දැක ගත හැක. ගිරවු ද මෙහි එනු අප කිහිප විටක් දැක ඇත. උහු අටල්ලට නැග හෝ අසල ඇති බිත්තිය මත ලැග හෝ පහසුවෙන් ලත් අහර වළඳති.

දිනය ඉරිදාය. උදේ ආහාරය පිණිස සැකසූ ආප්ප වලින් දෙකක් රාත්‍රී ආහාරයෙන් ඉතිරි කෙරුණු බත් කොටසත් සමග උන්ට දීමි. අටල්ල මත අහර වැඩි වූ විට උන් බිම හලා දමන බැවින් ආප්පයක් බැම්ම මත තැබීමි. අප දහවල් අහරට සැරසෙන විට පෙර නුදුටු අමුත්තෙක් බැම්ම මත ලැග ආප්ප වළදනු ජනේලයෙන් පෙනේ.
මූ කපුටෙක් තරම් විශාලය. බඩපත සුදට හුරුය, අත්තටු දුඹුරු පැහැතිය, හිස ලා පාටය, දෑස් රතුය, හොට තියුණුය. මූ කිසි සේත්ම ආප්ප කෑමට පැමිණි එකෙක් විය නොහැක.

ජනෙල් රෙද්ද මෑත් කර බැලීමි. කුරුළුගොයෙකි. මුන් අහසේ ඉගිලෙනු මිස වසා සිටිනු මින් පෙර දැක නැත. අඩි 15, 20 පමණ නුදුරින් කිසි දිනෙක දැක නැත. බැම්මට තද කර පයින් පාගාගෙන සිටින්නේ ආප්පයක් නොවේ. ආප්ප කෑමට පැමිණි ලේනෙකි. අහෝ ඌ ඒ වන විටත් ජීවිතය හැර ගොස්ය. ලේනුන්ගේ ආප්ප පාටිය කඩාකප්පල් කළ කුරුළුගොයා නිසොල්මනේ ඉඳ ලේනා බරු ගසයි. එක ලේනෙක් පමණක් අතු පතර අතර සිට හුදෙකලා විරෝධතාවයක යෙදේ. ටිං ටිං ටිං ටිං ...

කුමක් කරම්ද, අප ලේනාට ආප්ප දුන් බව සැබැයි, කුරුළුගොයා ඒ උදව්වෙන් ලේනා දඩයම් කර ගත් බවත් සැබැයි. අප ලේනා දඩයම් කර දුන්නා නොවේ. දැන් ලේනාට ජීවිතය දිය නොහැක. කුරුලුගොයා මහන්සියෙන් ලබා ගත් අහර ඌට අහිමි කිරීමත් පලක් නැත.

කුරුළුගොයාගේ ස්වෛරී භාවයට හානි නොකර ජනේලයෙන්ම උගේ ජායාරුප කිහිපයක් ගතිමි ... ජංගම දුරකථනයට කැමරාවක් එක් කිරීමට සිත් පහල වූ ඒ විශිෂ්ඨ නිපැයුම් කරුවාට පිං දුනිමි ... අනේ ඔහු නොසිටියානම් !

Thursday, July 12, 2012

රක්‍ෂනේ

මේක ඇමරිකන් කතාවක්. ඇමරිකන් කාරයෝ විනෝදෙට බිලී පිත්තක් එහෙම අරගෙන මාළු ඉන්න වතුරකට දාගෙන ඉන්නවා. සමහර සල්ලි කාරයෝ බෝට්ටු එහෙමත් අරන් ඕක කරනවා. ඒකට කියන්නේ ෆිෂින්, සිංහලෙන් නම් කියන්නේ මාළු අල්ලනවා කියලා.

ඔන්න ඔය වගේ ඇමරිකන් කාරයෝ තුන් දෙනෙක් එක දවසක් බහාමාස් පැත්තේදී මුණ ගැහුනලු. බහාමාස් කියන්නේ බටහිර ඉන්දීය කොදෙව් වලින් එකක්, නිකං ජැමෙයිකාව වගේ, ඊට පොඩියි. මේ සුද්දෝ තුන් දෙනාත් අපේ අයියලා වගේ තමයි, කඩ්ඩෙන් තමයි කතාව. මුන් තුන් දෙනා සට සට ගාල කඩුව වන වන ආගිය තොරතුරු කතා කරන්න පටන් ගත්තලු.

ටික වෙලාවකින් පළවෙනි සුද්දා කියනවලු, "මට මාර සීන් එක උනේ. මගේ ගේ ගිනි ගත්තනේ, ඔක්කොම නැති උනා. එත් සෙලින්කෝ එකෙන් ඔක්කොම ගෙව්වා. ඒ නිසා ඔන්න මං මෙහේ".

දෙවෙනි සුද්දා කියනවලු, "දෙයියනේ මටත් ඔය වගේම දෙයක් උනේ, මගේ ගෙදර ගෑස් කාන්දුවක් වෙලා පිපිරුනානේ. හොඳ වෙලාවට ගෙදර කට්ටිය එලියට ගිහිං හිටියේ. හම්බ කරපු සබ්බ සකල මනාවම  නැති උනා. මුලින් කල්පනා කරලා ගේ  රක්‍ෂණය කරලා තිබුණ නිසා ගොඩ ගියා. ඉතිං ඒ සල්ලිත් අරං මෙන්න මම මෙහේ. හිඃ හිඃ හිඃ !"

තුන් වෙනි එකාටත් කට වහං ඉන්න හිත දෙන්නෙම නෑ වගේ. ඌත් කියනවනලු, "අයිසේ, මේකනම් පුදුම අහම්බයක්, හැබැයි අපිටනම් ආවේ ලොකු ගංවතුරක්, ජිවිත විතරයි ඉතුරු උනේ. රක්‍ෂනෙන් වන්දි ගෙවපු නිසා ඒ සල්ලිත් එකතු කරගෙන අපිත් මෙහේ ආවා නිවාඩුවට." කියලා.

අරුන් දෙන්න පුදුම වේලා ඇස් ලොකු කරන් මේ හාදයා දිහා බලන් ඉන්නවලු.

"ඉතිං කොහොමද ඕයි තමුසේ ගංවතුරක් ඇති කළේ !!!"

Thursday, July 5, 2012

බ්ලොගයක ඇරඹුම


අද ජූලි 5.

බ්ලොගයක් ලියන්න හිත හිතා හිටියේ ගොඩ කලක ඉඳන්. ලියන්න දේ සැරින් සැරේ හිතට එනවා. ඒත් හැමදාම පටන් ගනිමින් හිටියා මිස පටන් ගැනීමක් නම් උනේ නෑ. මොනවා කරන්නද, මම වෘත්තීය කම්මැලියෙක්.

අද තීරණයක්‌ ගත්තා. මටම කියලා අන්තර්ජාල සම්බන්ධයක්, මොඩමයක් සමග මිලදී ගත්තා. දැන් ඉතින් මාසෙන් මාසෙට බිල ගෙවන්න එපැයි. මාසෙට රුපියල් එක්දාස් පන්සීයකට බදුත් එකතු කරලා ගෙවනකොට කොහොමද සනීපෙ. නිකං තියෙන ඉන්ටනෙට් එකට එච්චර ගානක් නිකංම ගෙවන්නේ මොකටද? ඔන්න මම බ්ලොග් එක පටන් ගත්තා.

දැන් ඉතිං බලමු මේක කොච්චර කාලයක් කරගෙන යයිද කියලා. මේක මමම මටම කර ගන්නා අභියෝගයක් !