Saturday, May 5, 2012

තෘතියාගමන කථා

තවද: අප බුදුහු බුදු වූ අට වන හවුරුද්දෙහි සුනාපරන්තනම් මහ තෙරුන්ගේ ආරාධනාවෙන් පන්සියක් රහතන් හා සමග සක්දෙවූ රජහු මවා දුන් පන්සියක් රුවන් මඩු නැගී වැඩ, සුනාපරන්තදන්වුවෙහි මුහුළු නම් අරම චන්දනශාලාව පිළිගෙන කීප දවසක් එහි දවස් යවා, දේශනාරශ්මින් බොහෝ වූ විනෙය ජන පද්මයෙන් ප්‍රබෝධ කරවා, එයින් නර්මදා නම් ගඟට වැඩ එහි, වසන නර්මදා නම් දිව්‍ය නාගරාජයා විසින් පිළිගන්වන ලද දිව්‍යහාරය සහපිරිවරින් වළදා, ඕහට බණ වදාරා, බොහෝ නයින් සරණසිල් ගන්වා, එම නාරජුගේ ආරාධනාවෙන් ඒ ගංතෙර රළින් මුවා වන තැනඕහට ශ්‍රීපාදයක් ඔබා එයින් සච්චබඬක නම් පර්වතයට වැඩ, එහි පෙර බොහෝ කලක් මිථ්‍යා දෘෂ්ටි ගෙන විසු සච්චබඬක නම් ජටිලයන්ට බණ වදාරා, ඔහු දමා අමාමහ නිවන් දක්වා, ඒහිභික්ෂු භාවයෙන් පැවිදි දී, එම සච්චබඬක නම් මහ තෙරුන්ගේ ම ආරාධනාවෙන් ඒ ගල් මුදුනෙහි ද, ඉටියෙහි එබූ හසක් සේ පාදලක්ෂණ හා සමග ශ්‍රීපාදයක් ඔබා, එයින් මහෝදර නාරජුහු මයිල් මිණි ඇසි නම් නාගරාජයාගේ ආරාධනාවෙන් වෙසඟ මැදි පොහෝ දිනයෙහි ලක් දිවූ වැඩ, කැළණි මහසෑය පිහිටි තැන වැඩ හිඳ, ඔහු විසින් මවන ලද දිව්‍යමණ්ඩපයෙහි අනර්ඝ වූ දිව්‍යාසන නැඟි වැඩහිද, ඔහු විසින්ම දෙන ලද දිව්‍යභෝජනය සහපිරිවරින් වළදා, බණ වදාරා, එම නාරජහුගේ අරාධනාවෙන් කැලණි ගඟ යටද ඕහට පාද ලාංඡනයක් දී නේ සුවහස් නයින් තිසරණ ගන්වා ඔවුන් විසින් කරන ලද අප්‍රමාණ වූ දිව්‍යපුජා ලත් සේක.

එ කෙණෙහි දිව්‍යනාගරාජයන් බුදුන්ට කරන පුජා කෝලාහල යෙන් පැළදිග් බැලු සමනොල කුළ වසන සමන් දෙව් රජ්ජුරුවෝ අප බුදුහු අද ලක්දිවු වැඩි වන්හ, අද මගේ මනදොළ සිඬ වන වැනයි සංතෘෂ්ට වූවාහු ඒ කෙණෙහි දෙවි පිරිස් පිරිවරා පර්වත මුදුනෙහි බුද්ධපුජාවට අතුට තුබූ පියවිලි පටක් බදුවූ කැළණි ගඟ අනුසාරයෙන් ආකාශයෙන් දිව, බුදුන් සහපිරිවරින් වැඳ, දොහොත් මුදුන් දී සිට කරුණා නිධාන වූ තිලෝගුරු බුදුරජාණෙනි! මේ නැගෙනහිරි දිශාභාගයෙහි පස් ගවුවක් උසින් ඉඳු මිණිගල් පර්වතයක් සේ ආකාශයෙහි ගැහැටි ගැහැටි සිටිනා සේ පෙනෙන්නාවූ සමන්තකූට පර්වතය නම් ස්වල්ප වූ පර්වතයක් නො වෙයි, අනන්තාපර්යන්ත වූ බුදුන්ගේ පාද ශ්‍රී ලබන්නා වූ පර්වතයෙක; දැනු දු, නුඔවහන්සේ ද, මාගේ කුළු නමැති ඔටුන්නෙහි තෙල ශ්‍රී පාද නමැති අගමිණිරුවන පලඳවා ලෝවැඩ කළ මැනැවැයි ආරාධනා කළහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ පුර්වදිග් බලා ලංකා නමැති අඞිගනාව තමන් වහන්සේට පෙරමඟ බලා, කර නඟා සිටියාක් වැනි වූ, මුදුන් කුළු නමැති කේශ කලාපෙයකින් හා පෙර මිට දෙවාරයක් වැඩ මට පාද ස්පර්ශ නුදුන් සේකැ යි යන ශෝකයෙන් හඬන කදුළු ධාරා දෙකක් වැනි මහවැලි ගඟ හා කැළණි ගඟ වැනි ගංඟා යුග්මයකින් හා තව ද: පාදවියෝගයෙන් ඛෙද ව ඇය විසින් කඩා ඉස්නා ලද රත්නාභරණ සමුහයන් සේ වනය සිසාරා පිහිටි සියදහස් රත්නාකර සමුහයෙන් හා ශ්‍රීමත් ව දිලිසෙන සමනොලකුළ දැක අද මම ද පෙර බුදුන්ගේ සිරිත් කොට ලඩ්කාඩ්ගනාව සතුටු කරවමියි සිතා දිව්‍යනාග-ගාන්ධර්වාදී පූජා විඳ විඳ පන්සියක් මහ රහතන් හා සමග ආකාශයෙන් වැඩ පර්වත මුදුනෙහි ඝනරන් කඳක් සේ දිලිහි දිලිහි වැඩ සිටි සේක. එ කෙණෙහි පර්වත වෙවුලා මුදුන් කුළ ආකාශයට නැගී බුදුන්ගේ ශ්‍රීපාදය පිළිගෙන අහසින් බැසපෙර සේ ම පිහිටා ගිය. ඉක්බිත්තෙන් ස්වාමිදරුවෝ මුරු-බඹ කැලන් කරන මහ පුජා විඳ විඳ පැළදිග බලා වැඩසිට මේ ශ්‍රී ලංකාද්වීප නමැති තුනුරුවන් භාණ්ඩාරය තමන් වහන්සේට හිමි නියාවට ම හසක් එබුවා සේ, අටතුරා සියක් මඟුල් ලකුණෙන් ශ්‍රීමත් වූ දෙවිබඹුන්ට මුදුන්මල්කඩ වූ, එක් වියන් එක් වියත් නව අඟුලක් පමණ අයම් විතර ඇති වාම ශ්‍රීපාදය සලක්ෂණ කොට ඔබා වදාල සේක.

එ කෙණෙහි බුඬාන්තරයක් මුළුල්ලෙහි ශ්‍රීපාද වියෝගයෙන් ශෝකී වූ ලංකාංගනාව නිශ්ශෝකි ව, එම විට ම පහළ වූ අකාල මේඝජල නමැති අමාදියෙන් ස්නානය කොට, මුළු දිව ව්‍යාප්ත වූ ෂ්ට්වර්ණ බුධධරශ්මි නමැති අනෙකවර්ණ වස්ත්‍රයන් ධරා, දිවමල් වර්ෂා නමැති අංගරාගයෙන් තවරා, රුවන් වර්ෂා නමැති ආභරණ පැලඳ, සමුද්‍රඝෝෂා නමැති තූර්යනාද පතුරුවා, භෘඩ්ගනාද නමැති ගායනා කොට, අකාල කුසුම් නැමති මල් දම් පැළද, මහීනාද නැමති සාධුකාරයෙන් ස්තුති ගී කිය කියා, මේඝනාද නමැති අත්පොලසන් දිදී නටා, සන්තෝෂයෙන් පුජා කලාය.

මෙසේ ස්වාමිදරුවෝ ලංකාඬ්ගනාව සතුටු කරවා සමනොල ශ්‍රීපාදය ඔබා එ ගල් පාවිට වූ භගවත් නම් ලෙන වැඩ හිද සමවත් සුවෙන් දිවාවිහාර කොට එයින් සිරිලක ඇතුළත් කොට, අනුරාධපුර නුවරට වැඩ, දකුණු මහසෑය පිහිටි තැන, මහමෙවුනා උයන්මැද ශ්‍රීමහාබෝධිය පිහිටි තැන, ලෝවාමහාපාය පිහිටි තැන, පිරිත්ලාගෙය පිහිටි තැන, දන්තාදර නම් පොකුණ පිහිටි තැන, ථූපාරාමය පිහිටි තැන, පතස්භුමියෙහි රුවන්මැලි මහසෑය පිහිටි තැන, මිහින්තලයෙහි මහසල සෑ පිහිටි තැන ය යි යන මේ අටමස්ථානය පූර්වබුඬවරයනුදු වැඩහුන් බිම් හෙයින් තමන් වහන්සේද ධ්‍යානසුවයෙන් වැඩ හිඳ, එ තෙනට රැස් වූ දෙවියන්ට බණවදාරා, නො එක් දෙවියන් සසරින් මුදා, එයින් වැඩ රුහුණු දිගානකා පිහිටි තැන ය යි මෙසේ මේ ලක්දිව තුන්වාරයෙන් කැටිව තුදුස් තැනෙක තුදුස් මොහොතක් කල් තුදුස් සමවතෙකින් තුදුස් බුඬකාරක ධර්මයෙන් යෙදුනා වූ අප බුදුහු මෙසේ පාරිභෝගික ධාතු ප්‍රතිෂ්ඨාවෙන් ලක්දිවට අරක් දී දෙවුරම් වෙහෙර ම වැඩි සේක.

මෙසේ තමන් වහන්සේ මොහොතක් කල් වැඩහුන්නාහු වූ තුදුස් තැනට දෙවි මිනිසුන් දැන් දක්වා කරන ලද මහත් වූ උද්දේසික පුජා ඇති හෙයිනුත් මාගේ බුදුහු අර්හත් වන නම් වන සේක.

෴ පූජාවලිය | සම්‍යක් ප්‍රතිපත්ති පූජා කථා ෴