Sunday, January 29, 2012

ප්‍රථමාගමන කථා

තවද: සතර වනු ව බුදු වූ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වූ නව වන මස උරුවේලා නම් දනව්වෙහි වැඩහිඳ මතු මාගේ ශාසනය මා අයාමෙහි නිර්මල කොට කොයි පිහිටා දෝ හෝයි බලා වදාරා මේ ශ්‍රී ලඞ්කාද්වීපය දැක ඒ දැන් යක්ෂයන්ට ම නිවාස වෙයි, දැන් ම මම ගොස් ඒ යක්ෂයන් ප්‍රලය කොට ශාසන ප්‍රතිෂ්ඨාවට ආධාර වන සේ අරක්ගන්මියි සිතා වදාරා දුරුතු මැදි පොහෝ දිනයෙහි ලක්දිවු වැඩ ශ්‍රී ලඞ්කාද්වීප නමැති ඒ පද්මයෙහි කර්ණිකාවක් බඳුවූ මණිභෙද නම් දනව්වෙහි ලඞ්කාඞ්ගනාව පලන් මුක්තාහාරයක් බඳු වූ මහා වාලුකා නම් ගඞ්ගාව සමීපයෙහි දිග තුන් යොදුන්, පුළුල යොදුන් පමණ ඇති මහා නාගවන නම් උද්‍යානයෙහි කඳවුරු බැඳ අතුරු නො දී සතුරුව හුන් මහා යක්ෂ කඳවුරට වැඩ ආකාශයෙහි සිට අහස පොළොව ගුගුරුවා යක්ෂයන් තැති ගන්වා පෙනී අපටත් තිලින් වැද හිඳිනා තරම් අවකාශයක් දෙවයි වදාළ සේක. එ වේලෙහි යක්ෂයෝ මේ උයන කුඩා හෙයින් සියුම් වෙස් මවා ගෙන ගැහැටි ගැහැටි වසම්හ, භවත්නි! තොපට කෙසේ අවකාශයක් දෙමෝ දැයි කීහ. එ වේලෙහි බුදුහු සියලඟ දුමවා දුම්කඳු හරනට පටන් ගත් සේක. එ වේලෙහි යක්ෂයෝ දුමින් පීඩා විඳ මොහු මහා ඍඬිවන්ත කෙනෙක, දැන්දක් දිලිහී ගියෝ නම් අප හැම දවා අළුමිටක් කරවා පියති, බිමක් අරුම්හයි මන්ත්‍රණය කොට ඔවුනොවුන් ඇඟ වැතිර සම්කඩකට බිම් හැර මහතාණෙනි! මේ අවකාශයෙහි වැඩහිඳුව, අපට අභය දානය දෙවයි යාච්ඤා කළාහ. ඉක්බිත්තෙන් බුදුහු සඟල සිවුර සතරපටින් අතුට පුර්වදිග් බලා වැඩහිඳ තෙජොකසින සමාපත්තියට සමවැද සතරදිගින් ගිනිකඳු සතරක් මවා යක්ෂයන් කරා මෙහෙයූ සේක. එ කෙණෙහි ගිනි ගුගුරා දිවත් දිවත් යක්ෂයෝ ගිනි භයින් වෙවුලා ආදි සම්කඩකට බිම් දීගත නුහුණුවෝ තුන් යොදුන් උද්‍යාන භූමිය බුදුන්ට ම අවකාශ කොට පිටතට දිවනදෑ, ගිනි ගුගුරා දිවන හෙයින් ලඞ්කාද්වීපය මුළුල්ලෙහි නො එක් පර්වත වන දුර්ගවලට වැද ගිය ගිය තැන්හි ම ගිනිකඳු ම දිවන හෙයින්, මේ සා මහත් ලඞ්කාද්වීපයෙහි අල්ලක් සා අභයස්ථානයකුත් නො ලදින් සියලු යක්ෂයෝ ම මුහුදු බත් වන්නට පටන් ගත්හ. එ වේලෙහි ස්වාමිදරුවෝ යක්ෂයන් කෙරෙහි අනුකම්පා ඇති ව යග්ගිරි දිවයින අධිෂ්ඨාන කොට ගෙන්වා යක්ෂයන් ඊට නංවා නිදුක් කොට දුරු කළ සේක.

ඉක්බිත්තෙන් සමනොළ සමන් දෙවි රජ්ජුරුවන් ආදී වූ ලක්දිව ඒ ඒ පර්වතවල, වෘක්ෂවල අරක් ගෙන වසන දිව්‍යසේනාව අවුත් බුදුන් පිරිවරා වැඳ නො එක් පූජා භාණ්ඩ ගෙන සිටියහ. එ කෙණෙහි බුදුහු බණ වදාරා ශතතහශ්‍ර දෙවියන් සසරින් මුදා වදාළ සේක. එ වේලෙහි සෝවාන් වූ සමන් දෙවි රජ්ජුරුවෝ බුදුන් වැඳ සිට ස්වාමීනි! නුඹවහන්සේගේ බුද්ධෝත්පාදය මුළුල්ලෙහි මේ ලක්දිව යක්ෂවාස නො වන පරිද්දෙනුත්, අප වැඳ පුදා ගන්නා පරිද්දෙනුත්, පාරිභෝගික ධාතුවක් දේවා වදාළ මැනවැ යි ආරාධනා කළහ. එ වේලෙහි ස්වාමිදරුවෝ සුරක්ත වූ ශ්‍රීහස්තයෙන් ශිරොධාතුව පිරිමැද කේශධාතු මිටක් දී වදාළ සේක. සමන්දෙවි රජ්ජුරුවෝ රුවන්කරඬුයෙකින් කේශධාතු පිළිගෙන බුදුන් වැඩහුන්නාවූ ස්ථානයෙහි රුවන් රැසක් පිටට වඩා සත් රියන් උස ඉඳුනිල්මිණි කරඬුයෙකින් වසා, අප්‍රමාණ වූ දිව්‍යගන්ධ කුසුමාදියෙන් පුජා කළහ. මෙසේ බුදුහු පළමුවන ධාතු ප්‍රතිෂ්ඨාව කොට ලක්දිව සිසාරා තුන්යලක් ප්‍රදක්ෂිණා කිරීමෙන් අරක් දී වේළුවනාරාමයට වැඩි සේක. පසු ව සරභූ නම් මහතෙර කෙනකුන් වහන්සේ බුදුන්ගේ ශ්‍රීවාධාතුව වඩා මේඝවර්ණ වූ පාෂාණයෙන් දොළොස් රියන් උස ඒ වසා සල දාගබක් මවා මහත් වූ පුජා කළ සේක. පසු ව චූලාභය නම් රජෙක් ඒ මතුයෙහි තිස්රියන් මහසෑයක් බඳවා භෝග පමණින් පුජා කළේය. පසු ව දුටුගැමුණු රජ ඒ වසා අසූරියන් උස මහසෑයක් බඳවා ඝනරන් පතින් වසා ධන පමණින් පුජා කළේ ය. එසේ හෙයින් කීයේ මැ නෝ මහාවංශයෙහි:
නෙකෙසං පාණිකොටීනං - ධම්මාභිසමයො අහු,
සරණේසු ච සිලේසු - ඨිතා ආසුං අසංඛියා.

සොතාපත්තිථලං පත්වා - සෙලෙ සුමනකූටකේ,
මහා සුමන දේවින්දො - පූජීයං යාවි පූඡියං.

සිරං පරාමසිත්වාන - නීලාමලසිරොරුහො,
පාණිමත්තෙ අදා කෙසෙ - තස්ස පාණිහිතො ජිනො.

සො තං සුවණ්ණචඬ්ගොට - වරෙනාදාය සත්ථුනො,
නිසින්නට්ඨාන රචිතෙ - නානාරතන සඤ්චයෙ.

උච්චතො සත්තරතනෙ - ඨපෙත්වානෙ සිරොරුහෙ,
තං ඉන්දනිල ථූපෙන - පිදහෙසි නමස්සි ච.

එවමච්චායිකං කම්මං - කරොන්තා ච ගුණාකරා,
කරොන්ති පුඤ්ඤං සප්පඤ්ඤා - සංසාර භය භිරුකා-යි
මෙසේ තමන් වහන්සේගේ ඉසින් හළ කෙස් පමණකට පවා මේ සා මහත් පුජා ලත් හෙයිනුත්, එසේ වූ පුජා විඳීමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

෴ පූජාවලිය | සම්‍යක් ප්‍රතිපත්ති පූජා කථා ෴